Feb 11, 2019

කාවිංදට දෙන්න හදන බජට් තෑග්ගට මීගමුවෙන් විරෝධය ! Featured

එජාප යොවුන් පෙරමුණේ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංද ජයවර්ධනට එජාප මීගමුව සංවිධායකධූරය ලබාදීමට දරණ උත්සාහයට මීගමුව නාගරික මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවී තිබේ.

ඔවුන් අදාළ විරෝධය දක්වමින් මීගමුව නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීවරුන් 19 දෙනා අතරින් 15 දෙනෙකුගේ අත්සන් සහිත විරෝධතාවක් එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබාදී ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප මීගමුව නාගරික මන්ත්‍රී සංගීත් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මීගමුව එජාප සංවිධායක ලෙස කටයුතු කළ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට දැනුම්දීමක් හෝ නොකොට ඔහු අදාළ ධූරයෙන් නෙරපා ඒ සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රී කාවිංද ගෙනඒමට විරුද්ධව නාගරික මන්ත්‍රීවරු 15 දෙනෙකුගේ අත්සන් සහිතව මහලේකම්වරයාට ලිපියක් ලබාදුන් බවයි.

මීට වසර 7කට පෙර ගෙවුණු 21 අවුරුද්ද තුළ මීගමුවේ එජාප ප්‍රධාන සංවිධායකයින් ලෙස කාවිංගගේ පියා දොස්තර ජයලත් ජයවර්ධන හා ජෝසප් මයිකල් පෙරේරා වැනි අය සිටියදී එජාපයට මීගමුව ආසනය දිනාගත හැකිවූයේ අවස්ථා දෙකකදී පමණක් බවයි.

එහෙත් රොයිස් මීගමුවේ සංවිධායක කිරීමෙන් පසුව ඉකුත් ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 29,000කින් මීගමුව ජයගත් බවත්, එසේම මහ මැතිවරණයේදී වැඩි ඡන්ද 31,000කින් මීගමුව ජයගත් බවයි.

පාළාත් පාලන මැතිවරණයේදී ගම්පහ ආසන 13න් 08ක් එජාපය පරාජයට පත්වෙද්දී ජයගත් ආසන 05 අතර ඉදිරියෙන්ම තිබුණේ මීගමුව බවද ඔහු කියා සිටියේය.

පොහොට්ටුව එවර සම්පූර්ණ ජයක් ලබා ගනිද්දී සම්පූර්ණ ආසනය ජය ගැනීමට හැකිවූයේ මීගමුව පමණක් බවත්, එම ජයග්‍රහණයේ ප්‍රධානම පංගුකාරයා රොයිස් බවත්, මීගමුවේ අයකු මීගමු සංවිධායක නොකරන්නේ නම් ඉදිරි මැතිවරණවලදී මීගමුවෙන් එජාපය පරාජයට පත් කිරීමට වැඩකටයුතු යොදන බවද ඔහු කියා සිටියේය.

මෙසේ කාවිංදට මීගමු ආසන සංවිධායක ධූරයක් ලබාදෙන්නට සැරෙසන්නේ අයවැය සඳහා පාර්ලිමේන්තුවේදී ඔහුගේ ඡන්දය ලබා ගැනීමේ අල්ලසක් ලෙස බවද සංගීත් මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top