Feb 11, 2019

වෙලාවට උසාවියේ ඉන්න ගෝඨාට අවවාදයක් Featured

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට නියමිත වේලාවට අධිකරණය වෙත පැමිණෙන දෙසට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (11) අවවාද කරමින් නියෝග කළේය.

ඉකුත් රජය සමයේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසට නීතිපතිවරයා විසින් නඩුපවරා තිබුණි. අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් (සභාපති / විනිසුරු) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුණ ලැබිණි.

නඩුව ආරම්භ කරන අවස්ථාවේ පළමු විත්තිකරු ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ටික වේලාවකින් ඔහු අධිකරණය වෙත පැමිණියේය. එහිදී ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දන්වා සිටියේ මාර්ගයේ පවතින අධික වාහන තදබතය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණයට හමුවට පැමිණීමට නොහැකිවූ බවයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිපීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන්ට නිසි වේලාවට අධිකරණයට පැමිණෙන ලෙසට අවවාද කරන මෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් සියලු දෙනාට නිසි වේලාවට පැමිණෙන ලෙස අවවාද කළේය.

මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට විත්ති පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතාවයට අදාළ තීන්දුව ලබා දෙමින් විනිසුරු මඩුල්ල අදාළ ඉල්ලීම ප්‍රතික්ෂෙප කළේය. අදාළ නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top