Feb 12, 2019

බැසිල් ගෙන් මෛත්‍රීට බාල්දියක් : 'ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් පමණයි' Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (11දා) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ.

ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.”

ශ්‍රීලනිපයේ බලපෑම :

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘවරයා මෙසේ පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කල යුතු බවට ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් පොහොට්ටු පක්ෂයට බලපෑම් කරමින් සිටියදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) කොන්දේසි විරහිතව සහාය ලබාදිය යුතු යැයි දුමින්ද දිසානායක මහතා පසුගියදා මාධ්‍යට ප්‍රකාශකර තිබිණ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

පොදුජන පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂකත්වයට විරුද්ධ වීමට කිසිම සදාචාරාත්මක අයිතියක් දැන් නැතැයි ද දුමින්ද දිසානායක මහතා එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.

 සබැඳි පුවත්:

ශ්‍රීලනිපය එකතු වුනත් නැතත් 'පොහොට්ටුව' දිනනවා'' - බැසිල් 

ජනාධිපතිවරණය : ශ්‍රීලනිපයේ අපේක්ෂකයා මෛත්‍රී ! 

මෛත්‍රී විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරන්න - පොහොට්ටුවට බලපෑම්

මෛත්‍රීට සහය දෙන්න බැහැ -පොහොට්ටුව දැඩි ස්ථාවරයක ! 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top