Feb 12, 2019

පාසල් ක්‍රීඩාවට වෛද්‍ය සහතික ඉල්ලීම නිසා අවුල් ජාලයක්

ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වන සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්යෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිට යෝග්‍යතාවය සම්බන්ධ වාර්තාවක් ලබා ගත යුතු බවට රජය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ද මේ බව චක්‍රලේඛණයක් මගින් සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

නමුත් ක්‍රීඩා තරග සදහා ඉදිරිපත් වන කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවට තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිට වාර්තාවක් ලබා ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු රජයේ රෝහලක් තුළ පහසුකම් සපයා නැත.

වයඹ පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කර බලා වෛද්‍ය සහතික ලබා දෙන එකම ස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගලය. එම ආයතනයටද වෛද්‍ය සහතික ලබාගැනීම සඳහා දිපනතා විශාල ප්‍රමාණයක් ඉල්ලුම්පත් යොමු කරයි. මෙම තත්ත්වය නිසා වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටීමට අයදුම්කරුවන්ට ඉදිරි දින ලබාදීමට එම ආයතනය කටයුතු කර ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් වල නිවාසාන්තර මළල ක්‍රීඩා තරග මේ දිනවල පැවැත්වේ. නිවාසාන්තර මළල ක්‍රීඩා තරග වලට සහභාගි වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යෝග්‍යතාවය පරීක්ෂා කර බලා වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය වේ. නමුත් කුරුණෑගල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දෙන දිනවලදී එම පරීක්ෂණයට පෙනී සිටීමට සිදු වුවහොත් නිවාසාන්තර මළල ක්‍රීඩා තරග අවසන් වී සති කීපයක් පසුවන බවද පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහන් කරයි.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ මහා රෝහලක්, මූලික රෝහල් 02 ක් සහ දිස්ත්‍රික් රෝහල් 04 ක් පිහිටා ඇත. එවන් වටපිටාවක් තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෛද්‍ය සහතික ලබා ගැනීම සදහා කුරුණෑගලට යාම අවාසනාවන්ත තත්ත්වයක් බව ඔවුන් කියති. ක්‍රීඩා තරගවලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය සියලුම පහසුකම් හලාවත මහා රෝහල තුළ ඇතත් ඒ සඳහා පුහුණු වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයක් නොමැති බව මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

ජුඩ් සමන්ත - පුත්තලම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top