Feb 15, 2019

ATG සිලෝන් සමාගමේ බදු සහන අහෝසි කරන්නැයි ජනපතිට කියයි (වීඩියෝ) Featured

කම්කරුවන්ගේ සංවිධානය වීමේ අයිතිය උල්ලංඝනය කරන කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ බහුජාතික අපනයන සමාගමකට සලසා දී ඇති බදු සහන අහෝසි කරන ලෙස වෘත්තීය සමිති ගණනාවක් කොළඹ උද්ඝෝෂණයක් පවත්වමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ආයෝජන මණ්ඩලය බාර ප්‍රධානියා ද වන ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත්තේ සිය වෘත්තීය සමිති නායකත්වය සේවයෙන් පහ කිරීමට විරුද්ධව සේවක සේවිකාවන් සිය ගණනක් විසින් මාසයකට වැඩි කාලයක් තිස්සේ දියත් කරන වැඩ වර්ජනයේ ඉල්ලීම් ලබා නොදී සිටින ATG සිලෝන් සමාගමට සම්බන්ධයෙනි.

දෙවසරකට ඉහතදී ලේ දැන් දීමේ පින්කමක් සංවිධානය කළ ATG නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගම් ශාඛාවේ සභාපති, සංවිධායක, උප ලේකම් ඇතුළු කම්කරු නායකයන් 5 දෙනකු අස් කිරීමට විරුද්ධව පන්සියයක් දෙනා වැඩ වර්ජනය අරඹා තිබේ.

එම වර්ජක ක්‍රියාධාරීන් ද සේවයෙන් පහ කරන බවට ATG හාම්පුතුන් තර්ජනය කර තිබෙන බව සමිති නායකයෝ පවසති.

හාම්පුතුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හමුවේ ආණ්ඩුවද මුනිවත රකින බවට ආණ්ඩුවටද චෝදනා කරන ඔවුහු ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන ලෙස ඉල්ලන සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී තිබේ.

එම සංදේශයට වෘත්තීය සමිති නායකයන් 27 දෙනකු අත්සන් තබා ඇති බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් උද්ඝෝෂණය අතරතුර දී මාධ්‍යවේදීන්ට පැවසීය.

(radiogagana.com)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top