Feb 16, 2019

ජනාධිපතිවරණය : බැසිල් 'පොහොට්ටුවෙන්' එන සුදානමක් ! Featured

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කළහොත් පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) ස්වාධීන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැතැයි බැසිල් රාජපක්ෂ මහතාගේද අදහස වී ඇතැයි පැවසෙන අතර එවැනි පරාජයක් හිමිවුවහොත් ඊළඟට එන මහ මැතිවරණයට එය බරපතළ ලෙස බලපානු ඇතැයි ඔහුගේ මතය වී ඇතැයි දැනගන්නට තිබේ.

මේ වසරේ දෙසැම්බර් 09 වැනිදා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බව බැසිල් රාජපක්ෂ මහතා බදාදා (13) මාතරදීද ප්‍රකාශ කළේය.

අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇතැම් ජන කොටස් අතර ඇති යම් අකමැත්තක්ද පදනම් කරගෙන ජනපති අපේක්ෂකත්වය, මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා කැමැත්තෙන් පසුවන බවය.

එහෙත් එසේ වුවහොත් පොදුජන පෙරමුණේ යම් නායකයකු ස්වාධීනව හෝ ඉදිරිපත් විය හැකි පසුබිමක් ගොඩ නැගීමට, බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ඔහුට සමීප කණ්ඩායම තුළ සැලසුමක් ඇති බවද දැනගන්නට තිබේ.

එවැනි තත්ත්වයක් උදා වුවහොත් ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණය ප්‍රධාන දේශපාලන ඉලක්කය බවට පත්කර ගැනීම එම කණ්ඩායමේ සූදානම බවද වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගතයුතු බව තම ඉල්ලීම බවය. එහෙත් ජනාධිපති අපේක්ෂකයා නම් කරනුයේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු නම් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට අනෙක් සියලුදෙනාම කටයුතු කරනු ඇති බවත් ඔහු කීය.

(රාවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top