Feb 16, 2019

TNA මුල් පුටුවට තුන්කොන් සටනක් ! Featured

දෙමළ ජාතික සන්ධානයේ නායකත්ව අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ 86 වැනි වියේ පසුවන හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගෙන් පසු පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා තුන්කොන් සටනක් නිර්මාණයවීම මීට හේතුව බව පැවසේ.

එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන් යන මන්ත්‍රීන් අතර මෙම සටන හටගෙන තිබේ.

ඒ සමඟ උතුරේ උපන් හින්දු ආගමිකයකු පක්ෂ නායකත්වය දැරිය යුතු යැයි එම පක්ෂය තුළ ප්‍රබල මතවාදයක් ප්‍රචාරය වෙමින් ඇතැයි පැවසේ.

සම්පන්දන් මහතා ළඟට සිටින එම පක්ෂයේ මීළඟ ජ්‍යෙෂ්ඨයා වන සේනාධිරාජා මන්ත්‍රීවරයා ද මඳ අසනීප තත්ත්වයෙන් පසුවෙන බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, සේනාධිරාජා මහතා ද එම පක්ෂයේ නායකත්වයෙන් පසුවන අතර සුමන්තිරන් මන්ත්‍රීවරයාට දෙමළ ඩයස්පෝරා සහයෝගය ලැබෙන බව පැවසේ.

එහෙත් දෙමළ සන්ධානයේ සෙසු සමහර පක්ෂවලින් ඔහුට විරෝධය එල්ල වී ඇත.

මේ අතර, සරවනභවන් මන්ත්‍රීවරයා පවසන්නේ පක්ෂ නායකත්වය තමන්ට හිමිවිය යුතු බවයි.

නොඑසේනම් උතුරේ මහ ඇමැති අපේක්ෂකත්වය හෝ තමන්ට ලැබිය යුතු බව ඔහුගේ අදහස වී ඇතැයි දෙමළ මාධ්‍ය වාර්තාකර තිබේ.

මෙයට සහාය ලබාගැනීමට සරවනභවන් මහතා පසුගිය සතියේ කැනඩාව - ප්‍රංශය - ස්විට්සර්ලන්තය ආදී රටවල තානාපතිවරුන් පෞද්ගලිකව මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top