Feb 22, 2019

සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම් Featured

සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධිය යට ගසන ලෙසට දන්වමින් එම බැංකුවේ ඉහළම නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය වෙත බලපෑම් කර තිබෙන බවට ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එලෙස සම්පත් බැංකුවේ ඉහළම නිලධාරීන් ගේ බලපෑමට යටත් වූ රහස් පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතුවලින් මේ වන විට ඉවත් කර තිබෙන බවත් එම විශේෂ විමර්ශනය රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. එස්. වීරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමකට භාරදී තිබෙන බවද පැවසේ.

සම්පත් බැංකුවේ කෝටිපති ගනුදෙනුකරුවකු වූ ලෝක ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයකු වන කැළුම් වීරසිංහ මහතා විසින් රහස් පොලිසිය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම මහා පරිමාණ වංචාවේ තොරතුරු අනාවරණය විය.

සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව රුපියල් කෝටි ගණනක මුදලක් විශ්වාසය කඩකර සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාලව රහස් පොලිසිය මේ වන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් බැංකු කළමනාකරුව සිටි මනෝජ් රොද්‍රිගු නැමැති අයෙකු ඇතුළු දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ බව කියන සම්පත් බැංකුවේ ඉහළම නිලධාරීන් පිරිසක් ලඟදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සම්පත් බැංකුවේ වංචාවට ගොදුරු වූ තවත් ගිණුම් හිමියන් කිහිපදෙනෙකු රහස් පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන අතර ඒවා සියල්ල ඉදිරියේ දී හෙළිදරව් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

සබැඳි පුවත්

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top