Feb 23, 2019

''ජනමාධ්‍ය බද්ද කටකතාවක් විතරයි''- නව මාධ්‍ය ඇමති කියයි Featured

ඉදිරි අයවැයෙන් මාධ්‍ය ආයතනවලට විශේෂ බද්ධක් පැනවීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවට පැතිර යන කටකතා වලට කිසිඳු පදනමක් නැති බවත් එවැනි බද්ධක් පැනවීමට ආණ්ඩුව කිසිඳු ලෙසකින් බලාපොරොත්තු නොවන බවත් කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි.

'' මේ දවස්වල කටකතාවක් යනවා ඉදිරි අයවැයෙන් මාධ්‍යයට විශේෂ බද්ධක් පනවනවා කියලා. එහෙම කිසිම දෙයක් අපේ රජයෙන් පනවන්නේ නැහැ. ඒක කටකතාවක් විතරයි.'' යයි රුවන් විජයවර්ධන මහතා කොළඹදී ඊයේ (22) පැවැසීය.

කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස ඉදිරිපිටදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

රටේ ජනමාධ්‍ය නගා සිටුවීමටත් 2015 සිට දිනාගත්ත මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවෙන බව එහිදී පැවසු රුවන් විජේවර්ධන මහතා, ''පරපුරෙන් ලද මාධ්‍ය සහ දේශපාලන උරුමය රැකුලක් කරගනිමින් මාධ්‍යවේදීන්ගේ ගැටළු නිරාකරණය කරමින් මාධ්‍ය වෘත්තිය නගා සිටුවීමට තමන් උපරිමයෙන්ම කැපවෙන බවත් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

‘‘ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කරගෙන යන ගමන් මා ගැන විශ්වාසය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මට භාරදීම ගැන මම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මගේ ස්තූතිය පුද කරනවා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මට මේ ලැබුණු අවස්ථාව භාග්‍යයක් ලෙස මම සලකනවා. කවුරුත් දන්නවා මාධ්‍යය අපේ ඇගේ තියෙනවා. මගේ සියා ඞී.ආර්.විජයවර්ධන මේ රටේ මාධ්‍යයටත් රටේ නිදහසටත් විශාල සේවයක් සහ කැපකිරීමක් කළා.

එක පැත්තකින් මාධ්‍ය තියෙනවා. අනික් පැත්තෙන් මවගේ පාර්ශ්වයෙන් දේශපාලනය තියෙනවා. ඒ නිසා මාධ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම සුදුසු ලකුණක් ලෙසයි මම දකින්නේ.

මේක පුංචි කාර්ය භාරයක් නෙමෙයි. රටේ ජනමාධ්‍ය නගා සිටුවීමටත් 2015 සිට අපි දිනාගත්ත මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.

ඒ වගේම මාධ්‍යවේදීනුත් ආර්ථික ගැටළු ඇතුළු විවිධ ගැටළු වලට මුහුණ දෙනවා. එවැනි ගැටළු පිලිබඳ සාකච්චා කරලා මාධ්‍යවේදීන්ටත් වෘත්තියක් ලෙස ඉහළට යාමට අවශ්‍ය සහන ලබා දෙන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතන වල මතුව ඇති ගැටළුත් එම වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරලා එම නිරාකරනය කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top