Feb 25, 2019

අගමැති වෙල්ලයන්පුරම් විවෘත කරයි (ඡායා)

ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව බොගවන්තලාව, බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදිකරන ලද නිවාස 155 කින් යුතු නව ගම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (24) ජනතා අයිතියට පත්කෙරිණි.

පර්චස් 07 ක, වර්ග අඩි 550 ක, මනරම් නිවසක් මෙලෙස ලබා දෙන අතර ඒ සඳහා නිරවුල් ඔප්පු ප්‍රධානය කිරීමද මෙහිදී සිදුකෙරුණි. මෙම නිවාස සඳහා අභ්‍යන්තර මාර්ග, ජලය සහ විදුලියද ලබා දී ඇත. මේ සඳහා වැයකර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 175 කි.

මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කේ පියදාස මහතා, ඇතුළු රැසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කඳුකරය සංවර්ධනය කිරීම තමන් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාට බාර දුන් බවයි. අමාත්‍යවරයා එය සාර්ථකව සිදුකරන බව පෙන්වා අග්‍රමාත්‍යවරයා කියාසිටියේ 2020 වන විට තවත් නිවාස 25000 ක් ඉදිකිරිමට අවශ්‍ය කටයුතු තම රජය යටතේ සිදුකරන බවද පැවසීය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ගෙන ගිය අරගලය හේතුවෙන් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීමට මැදිහත්වීමට රජයට සිදුවූ බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නුවර එළිය දිස්ත්‍රික් සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් තිගාම්බරම් අමාත්‍යවරයාගේද මැදිහත්වීම මත ඉදිරියේදී සිදුකරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගාම්බරම් මහතා සඳහන් කළේ වතුකරයේ ජීවත්වන ජනතාවට දැන් තමාගේම කියා ලිපිනයක් පවතින බවයි. තවද ලැයිමේ ජීවත්වූ ජනතාවට පර්චස් 7ක ඉඩමක වර්ග අඩි 550 ක මනරම් නිවසක් ඉදිකර, නිරවුල් ඔප්පු සමඟ ලබාදීමට හැකිවීම තමා ලද ජයග්‍රහනයක් බවත් හෙතෙම සඳහන් කළේය.

වතුකරයේ පුරා ලැයිම් වෙනුවට මේ වන විට ගම්මාන බිහිවෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ විවෘත කරන ලද ගම්මානය වී කේ වෙල්ලයන් පුරම් ලෙස නම් කර ඇති බවයි. එලෙස දිවයින පුරා වැවිලි ප්‍රජාව ජීවත්වන ප්‍රදේශවල මෙම ගම්මාන ඉදිකරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට වැවිලි ප්‍රජාව උදෙසා නිවාස 5000ක් ඉදිකර ජනතා අයිතියට පත් කර ඇති අතර නිවාස 2000ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරේ.

එමෙන්ම ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් නිවාස 14 000ක් ඉදිකිරීමට නියමිත අතර ඉන් නිවාස 4000ක් ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවති.

පර්චස් 07 ක ඉදිකෙරෙන මෙම සෑම නිවසකම අයිතිය අදාළ පුද්ගලයින්ට ලබාදෙමින් නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනද තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි මේ වන විට සාර්ථකව සිදු කෙරේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top