Feb 25, 2019

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි Featured

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳ සිදුකරන විශේෂ පරීක්ෂණයට අදාලව එම බැංකුවේ ප්‍රධානින් කිහිප දෙනෙකුගෙන් රහස් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සම්පත් බැංකුවේ මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. ඩී. එස්. වීරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරින් කණ්ඩායමක් විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව රුපියල් කෝටි ගණනකින් සිදුකර ඇති අදාළ වංචාව සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ (ණය පාලන) ජේ. ඒ. අයි. ජිනදාස, මෙහෙයුම් කළමනාකරු ජේ. පී. සී. එල්. ආරියවංශ, කළමනාකාර අභ්‍යන්තර විගණන ඩබ්ලිව. ඒ. ඩී. එල්. ගුණතිලක යන මහත්වරුන්ගෙන් රහස් පොලිසිය මේ වන විටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සම්පත් බැංකුවේ වංචාව සම්බන්ධයෙන් එහි බැංකු ප්‍රධානීන්ගෙන් ලබාගත් ප්‍රකාශ රහස් පොලිසිය විසින් මේ වන විට අධිකරණය වෙත භාර දී තිබෙන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

සම්පත් බැංකුව තුල සිදුව ඇතැයි කියන මෙම මහා පරිමාණ මුදල් වංචාවට අදාලව එහි තවත් බැංකු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභි ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කැළුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී සම්පත් බැංකුවේ වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

මෙම මහා පරිමාණ වංචාව සිදු කිරීමට සම්පත් බැංකුවේ ඉහළ නිලධාරීන් සැලසුම් කරන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක හඬ පටයක් මේ වන විට ශ්‍රී ලංකා මිරර් වෙත ලැබී ඇති අතර එය හෙට (26) දිනයේදී අප විසින් පළ කිරීමට බලාපොරොත්තු වෙමු.

සබැඳි පුවත්

සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම්

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top