Feb 26, 2019

2015 ජනාධිපතිවරණයේදී ජනපතිට ලැබුණු ප්‍රචාරන මුදල්වලට වෙච්ච දේ Featured

ජාතික වකුගඩු රෝග නිවාරණ අරමුදලේ රුපියල් මිලියන 628 ක් පමණ වූ මුදල් යොදවා ඉදිකළ මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

2015 ජනවාරි මාසේ 8 වැනිදා පැවති ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ ප‍්‍රචාරක වියදම් සදහා වූ ආධාර මුදල්වලින් මෙම ජාතික වකුගඩු රෝග නිවාරණ අරමුදල පිහිටවනු ලැබීය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

මම 2015 ජනාධිපතිවරණය පැවැත්වූ අවස්ථාවේ සඳහන් කළා පෝස්ටර් බැනර් කටවුට් මම පාවිච්චි කරන්නේ නැහැ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට කියලා. ඒවාට වැය කරන මුදල් සියල්ලම වකුගඩු අරමුදලක් දාන්න පටන් ගන්න අහවල් බැංකු ගිණුමට බැර කරන්න කියලා අපි මාධ්‍ය තුළ ප‍්‍රචාරය කළා. මම ඒ ගිණුම පුදගලිකව පටන් ගත්තේ වකුගඩු අරමුදක් විදියට. ඒ වෙලාවේ මැතිවරණ ව්‍යාපාරය තුළ විශාල මුදලක් මට මතක හැටියට මිලියන 50 ක් 60 ක් ඒ අරමුදලට ලැබිලා තිබුණා.

මම ජනාධිපති ධුරයට පත්වූ පසු 2015 පළවෙනි අය වැය යෝජනාවල දී ඒ අරමුදල ජාතික වකුගඩු අරමුදලක් වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. ඒ තුළ එය රජයේ අරමුදලක් බවට පත්ව ලැබෙන පරිත්‍යාග මගින් පුළුල් වුණා. මෙය දැන් රජයේ පාලනය යටතේයි තිබෙන්නේ. මේ අරමුදලට දේශීය වශයෙන් විශාල ලෙස මුදල් පරිත්‍යාග ලැබුණා. මේ මිලියන 628 ම පරිත්‍යාග. රජයේ මුදල් සතයක්වත් වැය කරලා නැහැ. අනුරාධපුරයේත් එහෙමයි. අපි දැනට රට පුරා වකුගඩු රෝගීන් වෙනුවෙන් සුබසාධන සේවා කරන්නේ මේ අරමුදලින්.”

මෙම ගොඩනැගිල්ල විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය ලෙසද නම් කළේය.

ත‍්‍රිවිධ හමුදාව එක්ව මේ ගොඩනැගිල්ල කළ අතර මේ හා සමානව තවත් ගොඩනැගිල්ලක් අනුරාධපුරේ ඉදිවෙමින් පවතී. එය ලබන මස විවෘත කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top