Jan 13, 2017

1 වසරට ළමුන් ඇතුළත් කිරීම : 'රජයේ ස්ථාවරය අපැහැදිලියි'

2017 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දී මතුවී ඇති අර්බුදය හමුවේ කොළඹ රාජකීය විදුහලේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අත්හිට වූවද චෝදනා ලද වෙනත් පාසල් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මේ දක්වා පැහැදිලි කොට නැතැයි ලංකා ගුරු සංගමය රජයට චෝදනා කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් නිකුත්කළ නිවේදනයක් එබව සඳහන්වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

කොළඹ රාජකීය විදුහලට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුවූවා යයි කියන අක්‍රමිකතා ඇමතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද ඊට සම්බන්ධ පිරිස පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගයක් මේ දක්වා පැහැදිලි කොට නැත.

2017.01.11 දින ළමුන් ඇතුළත් කිරීමෙන් පසු අනෙකුත් පාසල්වලින් අසාධාරණයට ලක් වූ සිසුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව ද පැහැදිලි කිරීමක් කොට නැත.

දින 100 වැඩපිළිවෙලේ 57 වෙනි අංකය:

පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අධ්‍යාපන පද්ධතියේ ඇති බරපතල අර්බුදයකි.

වර්තමාන ජනාධිපති බලයට පත් කිරීමේදී ඉදිරිපත් කරන ලද දින 100 වැඩපිළිවෙලේ 57 වෙනි අංකය යටතේ එම ගැටළුවට විසඳුමක් ලබාදෙන බව සඳහන් කර තිබුණි.

නමුත් එවැනි දෙයක් සිදු නොවීම තුළ දිගින් දිගටම එම ගැටළුව මතුවෙමින් තිබේ.

ලංකාවේ පාසල් 10222 න් ජාතික පාසල් 350 කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එයින් අති ජනප්‍රිය පාසල් ඇත්තේ 36 කි. දැඩි තරගකාරීත්වක් ඇත්තේ එම පාසල් 36 සඳහාය.

ආදී ශිෂ්‍ය මාෆියා කණ්ඩායම් :

මෙම අර්බුදයට වහාම ස්ථිර පිළියමක් යෙදීම වෙනුවට නිරන්තරයෙන් පැලැස්තර විසඳුම් ලබාදීම තුළ ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ මාෆියා කණ්ඩායම් ළමුන් ඇතුළත් කිරීමේ ආධිපත්‍ය දරාගෙන සිටිති.

මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය අතර, 2007 වසරේ දී ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති පෙත්සම් විභාගයකදී මහාචාර්ය ඒ.වී. සුරවීර මහතාගෙන් සභාපතිත්වයෙන් පැවති ජාතික අධ්‍යාපන කොමිසම ජනප්‍රිය පාසල්වල 1-5 ශ්‍රේණි ඉවත් කළ යුතු බව යෝජනා කොට තිබුණි.

සාධාරණ ක්‍රමවේදයක් :

1-5 ශ්‍රේණි ඉවත් කිරීමෙන් පසු ජනප්‍රිය පාසල්වල 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා තරග විභාගයක් පැවැත්වීමෙන් දූෂණයෙන් තොරව ළමුන් ඇතුළත් කිරීම කළ හැකි අතර එය සාධාරණ ක්‍රමවේදයක් බව පැහැදිලිය.

මේ තත්වය තුළ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොබියව පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටීයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top