OPEN

#

OPEN

#

Jan 14, 2017

ශ්‍රේෂ්ඨාධිකරණයෙදී වරාය අධිකාරියෙන් රජයට චෝදනා Featured

හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ ක්‍රියාවලියේදී රජය ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි එම අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළේය.

හම්බන්තොට වරාය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සමක් ඊයේ (12)  කැඳවූ අවස්ථාවේදී වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරී පනතට අනුව වරායන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට පමණක් බවය.

එහෙත් හම්බන්තොට වරාය පැවරීමේ ක්‍රියාවලියේදී රජය ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි චෝදනා කළ එම නීතිවේදියා එම පැවරුම් ක්‍රියාවලියට විෂය භාර ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයේදී විරෝධය පළකර ඇති බවද ප්‍රකාශ කළේය.


නීතියට පටහැනියි :


කෙසේ වෙතත් නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම සදහා කල් අවශ්‍ය බවය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන මස 03 වෙනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පෙර විරෝධතා තිබේනම් ඉදිරිපත් කරන්නැයි වග උත්තරකාර පාර්ශවයට නියම කළේය.

පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටින්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හම්බන්තොට වරාය සහ එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජකයිනට පැවරීම නීතියට පටහැනි බවය.

මේ හේතුවෙන් අදාළ පැවරුම් ගිවිසුම අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.


 රක්‍ෂණ සංස්ථා නඩුව :


ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ලොනු කර ඇත්තේ නඩු අංක 467-2016 අංකය යටතේය.

අධිකරණයේ නඩු ක්‍රියාමාර්ගයක් පවතින බැවින් මෙම දේපල පැවරීමේ කටයුත්ත සිදු කිරීමට නොහැකි වනු ඇති බව නිතී ප්‍රවීණයින්ගේ අදහසයි.

මීට පෙර ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව යලි රජයට අත්පත් වූයේ වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කරනු ලැබූ නඩුවක් ජය ගැනීම හේතුවෙනි.


(මූලාශ්‍රය - බිබිසි සංදේශය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top