Mar 08, 2019

"සිවනොලි පාද මලෙයි" ඉදිකිරීම් ඇරඹෙයි 

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය පාලමට ඉහලින් ශ්‍රී පාද පියගැටපෙළ ආරම්භ වන ස්ථානයේ ශ්‍රී පාදස්ථානයට අගෞරවයක් නොවන සේ සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් පමණක්  නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි  මහත්මිය පැවසීය.
 
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ සභා සම්මත කරගත් යෝජනාවක් ක්‍රියාවට නංවමින් එම මාර්ගයේ පියගැටපෙළ දකුණු පසින් එම නාම පුවරුව ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව සභාපතිනිය කියා සිටී.
 
දැනට එම මාර්ගයේ වම් පස සිංහල භාෂාවෙන්  ගෞතම ශ්‍රී පාදස්ථානය යනුවෙන්ද, දමිළ භාෂාවෙන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ සිරි පතුල යනුවෙන්  (ගෞතම බුද්ධ භගවානින් ශ්‍රී පාදස්ථානම්)  යනුවෙන් සඳහන් කර තිබේ.
 
ශ්‍රී පාදස්ථානය  ඉතිහාසයේ සිට දමිළ ජනතාව සිවනොලි පාද මලෙයි යනුවෙන් හැඳින්වු බවත්, නව අර්ථකථනය දමිළ ජනතාවට පැහැදිලි නොවන නිසා ශ්‍රී පාදස්ථාධිපති පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සබරගමු පලතේ ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍ය බෙන්ගමුවේ  ධම්මදින්න ස්වාමින් වහන්සේව මේ පිළිබඳව දැනුවත් කර උන් වහන්සේගේ අනුමැතිය ඇතිව සිංහල භාෂාවෙන් ශ්‍රී පාදස්ථානය සහ දමිළ භාෂාවෙන් සිවනොලි පාද මලෙයි යනුවෙන් එම නාම පුවරුවේ සඳහන් කිරීමට සැලසුම් කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
තමන් හින්දු ජාතියට අයත් වුවද බෞද්ධ දර්ශනයට දැඩි ලෙස  ගරු කරන බවත්, ශ්‍රී පාදස්ථානය හින්දු ජනතාව හඳුන්වන්නේ සිවනොලි පාද මලෙයි යනුවෙන් නිසා එම නම ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කල බවයි සභාපතිනිය කියා සිටී.
 
එම නාම පුවරුව ඉදිකිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, තවදුරටත් ඒ පිළිබඳව ශ්‍රී පාද ස්ථානාධිපති හිමියන්ගෙන් උපදෙස් ලබාගෙන උන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ඉදිරි කටයුතු කිරිමට අදහස් කරගෙන සිටින බවත් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය අප කළ විමසුමකදී වැඩි දුරටත් පැවසුවාය.
3
 
සටහන සහ ඡායා -  රංජිත් රාජපක්ෂ  -හැටන්            

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top