Mar 14, 2019

ඉඩම් ලියාපදිංචියටත් එක්දින සේවාවක්

ඉඩම් ලියාපදිංචිය සඳහා ලබන 16දා සිට එක් දින සේවාවක් දීප ව්‍යාප්තව ආරම්භ කරමින් ''ජනතා අයිතියට - ජාත්‍යන්තර ප්‍රමිතියක් " ලබා දෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

වසර 155 පැරණි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා කඩිනම්ව ලබාදීමේ අරමුණින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙය ආරම්භ කරනු ලබයි.

එහිදී ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව සහ භාෂාද්විත්වයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම හා නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික ලබාදීමද සිදුවන අතර මෙම දීප ව්‍යප්ත වැඩසටහනෙහි ජාතික මහෝත්සවය මේ මස 16 වන සෙනසුරාදා දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

වර්ෂ 1864 දී ආරම්භ කරන ලද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මේ වන විට වසර 155 ක් සම්පුර්ණ කර ඇති අතර උපත, විපත සහ මරණය වැනි මිනිසාගේ සිවිල් අයිතිවාසිකම් මෙන්ම චංචල සහ නිශ්චල දේපල ලියාපදිංචිය, එම ලේඛණ සංරක්ෂණය කිරීම, සහතික පිටපත් නිකුත් කිරීම හා අවශ්‍ය පාර්ශවයන්ට ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම කරනු ලබයි.

ඉඩම් ලියාපදිංචි කිරීම සහ ඉඩම් සම්බන්ධ අයිතිය පිළිබඳ තොරතුරු සංරක්ෂණය කිරීම මේ අතර මේ අතර ප්‍රධාන වේ. මෙතෙක් පැවැති ක්‍රමය අනුව ඉඩමක ඔප්පුවක් ලියාපදිංචි කිරීමට දින ගණනක් ගත විය. මේ ක්‍රමය වෙනස් කරමින් වඩාත් ආරක්ෂිතව හා කාර්යක්ෂමව ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම එකම දිනකින් සිදුකරගැනීමේ අවස්ථාව ජනතාවට උදාවෙයි.

මෙම සේවාව බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී ආරම්භ කිරීමට සමගාමීව ප්‍රාදේශීයව පිහිටි කාර්යාල 45 දී ද මාර්තු 16 වැනි දින දී ම ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව උප්පැන්න සහතික හා විවාහ සහතික නිකුත් කිරීමේ දී මෙතෙක් පැවැති සහතිකය වෙනස් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සහතිකයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර මාර්තු මස 16 වැනි දින සිට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම සහතිකය කඩිනමින් ලබාගැනීමේ අවස්ථාව ද උදාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top