Mar 14, 2019

යාත්‍රා FM එකත් “අල්ලිරාජා” ට විකිණෙයි ? Featured

මහින්ද හා ජනක රාමනායක ඇතුළු රාමනායක පවුලට අයත් යාත්‍රා FM නාලිකාවත් දැනට අක්‍රියව පවතින රූපවාහිනී නාලිකාවේත් බලපත්‍ර එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්' සමාගමේ සභාපති සුභාෂ්කරන් අල්ලිරාජා මහතාගේ අධීක්ෂණය යටතේ ලංකාවේ ආරම්භ කර ඇති සමාගමක් වෙත විකුණා දැමීමට සැලැසුම්කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අල්ලිරාජා හැදූ නව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කර ඇත්තේ අසේල රණසිංහ නැමැත්තෙකු බවද පැවසේ.

මේවන විට ආන්දෝලනාත්මක ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ කොටස් හිමිකරගෙන සිටින්නේද ‘ලයිකා මොබයිල්' සමාගමේ සභාපති සුභාෂ්කරන් අල්ලිරාජා මහතා විසිනි.

ඔහු මීට අමතරව මෙරට තවත් ප්‍රධාන ගුවන් විදුලි ආයතනයක් මිලදී ගැනීමට මේවන විට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

මේ ගනුදෙනුවට ජනක රාමනායක මහතා දැඩිව විරෝධය දක්වා ඇති බව වාර්තාවන අතර ඔහුගේ ෆේස්බුක් පිටුවේද පලකර ඇති සටහන් අනුව ඒ බව තහවුරු වේ.

ජනක මහතා පලකර ඇති ෆේස්බුක් සටහන් පහත දැක්වේ.

yathraFM1 670px 19 03 14

යාත්‍රා අලිරාජාට විකිණීමට සියල්ල සැලැසුම්කර ඇත්තේ මහින්ද රාමනායක මහතාගේ බෑනා වන රුවන් එදිරිසිංහ බව පැවසෙක අතර ඔහුට ඒ සඳහා සහයදී ඇත්තේ අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදේශකයකුව සිටි ප්‍රසන්න කුලතුංග නැමැත්තා බව පැවසේ.

කුලතුංග මහතා කලකට ඉහතදී ජනක රාමනායක මහතා යටතේ අදාළ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

ආයතනයේ සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් කුලතුංග මහතා එම ආයතනයෙන් ඉවත්කර ඇත්තේ ද ජනක රාමනායක විසින් බවද මේ අතර වාර්තා වේ.

රුවන් එදිරිසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළ අතර ඔහුද මේවන විට ජනාධිපතිවරයා ඉන් ඉවත් කර තිබේ.

ඒ පාසල් බෑග් වංචාවක් සම්බන්ධයෙන් වන අතර ඔහු එම වංචාව සම්බන්ධයෙන් දින කිහිපයක් බන්ධනාගාරතකර සිටි බවද වාර්තා වේ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදී අදාළ ගුවන්විදුලි හා රූපවාහිනී බලපත්‍ර ජනක රාමනායක මහතාගේ පියා වන මහින්ද රාමනායක මහතාට ලබාදී තිබිණි.

එවකට “මැක්ස්” ලෙස පවත්වාගෙන ගිය මෙම මාධ්‍ය ආයතනය පසුගිය වසරේදී යාත්‍රා ලෙස නම වෙනස් කළේය. එම නාලිකාව කලක් අර්ජුන ඇලෝශියස් මහතාට බදු දී තිබූ බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top