Mar 18, 2019

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට විශේෂ වැටලීම් ඒකකයක්   Featured

මිරිදිය ධීවර කටයුතුවලදී සිදුවන නීති විරෝධී ක්‍රියා පාලනය සඳහා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත .
ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යතුමා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත උපදෙස් දෙන ලදී .
 
රට අභ්‍යන්තරයේ විශාල ජලාශ , කාලීන ජලාශ  සහ මධ්‍යකාලීන ජලාශ 12.000 ක පමණ මිරිදිය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක වේ . ඒ ආශ්‍රිතව 40,000 ක් පමණ  සංඛ්‍යාවක් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරතව සිටී.
 
ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය ගහනය පවත්වාගැනීම සඳහා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සෑම වසරකම මත්ස්‍ය පැටවුන් ලක්‍ෂ ගණනක් එම ජලාශවල තැන්පත් කරයි . පසුගිය 2018 වසරේ පමණක් මත්ස්‍ය පැටවුන් ලක්‍ෂ 1100  ක් එම ජලාශවල තැන්පත් කර ඇත.  2018 වසරේ සංඛ්‍යා ලේඛන අනුව  මිරිදිය මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 86.000 කි .
 
නමුත් නීතිවිරෝධී පන්න භාවිතය හේතුවෙන් මෙම මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස පහත වැටී තිබේ . කිලෝ එකක් එකහමාරක් පමණ වැඩෙන මත්ස්‍යයෙක් මෙම නීති විරෝධී පන්න භාවිත කරන සහ ධීවරයින් නොවන පුදගලයින්  ග්‍රෑම් 200 තරම් කුඩා මත්ස්‍යයින් පවා නෙළාගන්නා බව ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි .  එම අධිකාරිය සඳහන් කළේ දිනකට මිරිදිය ධීවර කාර්මිකයෙකු නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්නට වඩා විශාල මත්ස්‍ය අස්වැන්නක් මෙම පුද්ගලයින් එකවර නෙළාගැනීම හේතුවෙන් කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවය .
 
මිරිදිය ධීවර කර්මාන්තයේ සිදුවන එවැනි නීති විරෝධී කටයුතු පාලනය සඳහා ප්‍රාදේශීය ධීවර පරීක්ෂකවරුන් ක්‍රියාත්මකවීමේදී ඔවුන්ට එල්ලවන තර්ජන , බලපෑම් සහ පහරදීම් රැසක් වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳ අවධානය යොමු කර මෙවැනි වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීම වඩාත් ප්‍රයෝගික බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගත් බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය  .
 
ප්‍රාදේශීය මට්ටමින්  නීතිය ක්‍රියාත්මක නොවන බවට ලැබෙන මහජන පැමිණිලි අනුව  නීති විරෝධී මිරිදිය ධීවර කටයුතු පාලනය සඳහා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ  මෙම විශේෂ වැටලීම් ඒකකය ස්ථාපිත කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි.
 
මෙම කටයුතු වඩාත් නිත්‍යානුකුලව සිදුකිරීම සඳහා එම ප්‍රදේශයේ පොලිසියේ හෝ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගැනීමට මෙන්ම නීති විරෝධී ධිවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගන්නා  සියලු දෙනා නීතිය හමුවට පමුණුවා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර ධීවරයා මෙන්ම ධීවර කර්මාන්තය රැකගැනීමට කටයුතු කරන ලෙසත් මෙහිදී ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියට  අමාත්‍යවරයා උපදෙස් දුන්නේය .

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top