Mar 19, 2019

ගෝඨා ගැන පොදු එකඟතාවයක් ! Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට මේ වනවිට පොදු එකඟතාවක් ගොඩනැඟී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

UdayaGammanpila 600px 16 12 06ඒ සම්බන්ධයෙන් අදහස් පළ වීමත් සමඟ ආණ්ඩුව මෙතෙක් සිදු නොකළ සංවර්ධන ක්‍රියාදාමයක් ද ආරම්භ කර ඇති බව ද ඔහු කියා සිටියේය.

ඔහු එබව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දීය.

පසුගිය බ්‍රහස්පතින්දා (14) රාත්‍රී කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක නිල නිවසේ දී රාජපක්ෂ සහෝදරයන් සහ පුත්‍රයන් එක් රැස්වී ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තීන්දු කරන ලදැයිද ඔහු දිනවීම සඳහා රට පුරා යෑමට සූදානම් බව බැසිල් ගෝඨාභය මහතා කීවා යැයිද අද සති අන්ත පුවත් පතක් සිය ප්‍රධාන පුවත ලෙස පළ කර තිබිණ.

චමල්ටත් හරියටම ෂුවර් නැහැ !

කෙසේවුවද හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා පවසන්නේ, ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යැයි තමන් සිතන බවයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පවුලේ සාමාජිකයින් විසින් නම් කර ඇති බවක් ඔහු නොකියයි.

තමන් හෝ බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ මහතා පවසයි.

උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

'ශ්‍රී ලනිප අයත් ගෝඨාට එක්වීමේ ඉඩක් තියනවා' - දයාසිරි

 මේ අතර ශ්‍රීලනිප මහ ලේකම්, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා යැයි කල්තබා ප්‍රකාශ කිරීම නිසා තම පාක්ෂිකයන් ඔහුගේ පාර්ශවය හා එකතු වීමට ඉඩ ඇති බවයි. එබැවින් මේ මොහොතේ පක්ෂය පාවා නොදෙන තීරණයක් ගත යුතුව ඇති බව ද ඔහු කියා සිටියි.

මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කරන්න නැති බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 14ක ප්‍රමාණයද අනිවාර්යයෙන්ම එකතුව යුතු බව පවසන ශ්‍රීලනිප ලේකම්වරයා, එසේ නොවන්නේ නම් එජාප අපේක්ෂකයා ජය ගනු ඇති බවද කියා සිටියි.

එනිසා පක්ෂ දෙකෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කර පරාජය වීමට නොහැකි නිසා කල්පනා කර බලා සුදුසු එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු සඳහන් කරයි.

සබැඳි පුවත් :
'ඡන්දෙට දාන්නේ දිනන අපේක්ෂකයෙක්' - මහින්ද ගෝඨා ගැන කතාවක් නැහැ !

''ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාට දෙන කතාව අමු බොරුවක්'' - මහින්ද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top