OPEN

#

OPEN

#

Mar 19, 2019

ජපානයෙන් මැදවච්චියට ජල කළමනාකරණ පද්ධතියක්

ජපන් රජය මගින් එහි බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය (GGP)යටතේ අනුරාධපුරයේ "තිරසාර කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ජල කළමනාකරණ පද්ධතියක්" යන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් 89,285 (දළ වශයෙන් රුපියල් මිලියන 16 ක) ප‍්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම 2019 මාර්තු 13 වන දින, ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ සේවාලංකා පදනමේ සභාපති ආචාර්ය හර්ෂ කුමාර නවරත්න මහතා විසින් ජපන් තානාපති නිල නිවසේ දී සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය තුළින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ, නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවින්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සහ ජීවනෝපාය සංවර්ධනය කිරිමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය ළිං, එළවළු සැකසුම් මධ්‍යස්ථානයක් එයට අවශ්‍ය උපකරණ ආදිය ලබාදීම සහ වාරිමාර්ග පහසුකම් සැපයීම සිදුවේ. මීට අමතරව, කාබනික ගොවිතැන හා අලෙවිය සඳහා පුහුුණුවක්ද ගොවීන් සඳහා ලබා දීමට නියමිතය.

‘නොච්චියාගම’ වියළි කළාපයේ පිහිටා ඇති අතර බහුල වශයෙන් නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශයකි. ගොවින් බොහොමයකට වාරිමාර්ග පද්ධතියක් නොමැති බැවින් ඔවුන් වසරකට මාස කිහිපයකට සැරයක්, වැසි සමයේ පමණක් වගා කටයුතුවල නිරත වේ. ඉදිරි වසර තුළ ඔවුන්ට තමන්ගේ ඉඩම්වල වගා කළ නොහැකි අතර අනෙකුත් වගා බිම්වල දෛනික වැටුප් ලබන සේවකයන් ලෙස වැඩ කරති.

මෙම ව්‍යාපෘතිය තුළින් ලබාදෙන පහසුකම් සහ පුහුණුව මගින් ගොවින්ට කාබනික එළවළු වගා කළ හැකි අතර, ඒවා සෞඛ්‍යාරක්ෂිතව යුතුව සකස් කර ඉහළ ප‍්‍රමිතියකින් අලෙවි කෙරේ. සේවා ලංකා පදනම මෙම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ගොවීන්ට සහයෝගය ලබා දෙයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වු සේවා ලංකා පදනමේ සභාපති ආචාර්ය හර්ෂ නවරත්න මහතා ප‍්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති ප‍්‍රදේශයට වසරකට සීමිත ප‍්‍රමාණයක වර්ෂාපතනයක් වාර්තා වන බවයි. එම නිසා තිරසාර වාරිමාර්ග පද්ධතියක් ගොඩ නැංවීම ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා වැදගත් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top