Mar 20, 2019

යුද අපරාධ: “වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ” - සරත් වීරසේකර ජිනීවාහිදී (වීඩියෝ) Featured

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ‘අනිවාර්යයෙන්’ දඬුවම් දිය යුතු බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

යුද අපරාධ සිදු වූ බව පසුගිය අවුරුදු දහය තිස්සේම ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂවාදී හිටපු නාවික හමුදා නිලධාරියා ඒ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවේ රජයට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විරෝධය පෑමට ජිනීවා ගොස් සිටියදී ය.

ඔහු විසින් යුද අපරාධ හඳුන්වන ලද්දේ ‘වැරදි’ යනුවෙනි.

“යුද්ධය තියෙන කාලේ උනත්, යුද්ධයෙන් පසුව උනත් වැරද්දක් කරලා තියෙනවා නම්, ඒකට අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ,” යි රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කළේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් IBC තමිල් නාලිකාව විසින් ප්‍රශ්න කරන ලද අවස්ථාවේදීය.

ඔහු නියෝජනය කරන ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නිලධාරීන්ද ඒ ප්‍රකාශය කරන අවස්ථාවේ සිටිනු දැකගත හැකිය.

වැරදි කරුවන්ට දඬුවම් දීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණය සුදුසු බව අවධාරණය කරමින් “අපේ වැඩේ අපි බලාගන්නම්” කී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඒ සඳහා විදේශීය විනිශ්චයකරුවන් සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර සිටියේය.

වීඩියෝ

යුද්ධයේදී අපරාධ කළ හමුදා නිලධාරීන්ට දඬුවම් පැමිණවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෑතදී දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබුනි.

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කරන බවට ශ්‍රී ලංකාව විසින් වසර හතරකට ඉහතදී ජගත් ප්‍රජාව හමුවේ දෙනලද පොරොන්දු ඉටු කිරීම සඳහා තවත් කල් ගැනීමේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම අද්මිරාල් වීරසේකර මහතාගේ හෙලා දැකීමට ලක්වුයේ රටේ දේශපාලන නායකයන් බලයේ ඉඳීම සඳහා “බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ සහ බටහිර රටවල සහාය ලබා ගැනීමට” ගන්නා අවසනාවන්ත පියවරක් ලෙසිනි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලකයෝ ද සහභාගි වෙති.

(gagana.lk)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top