Mar 20, 2019

අදත් විදුලිය බිඳ වැටීම් ! Featured

අක්‍රිය වී ඇති නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය මේ වන විටත් ජාතික පද්ධතියට එකතු කර ගැනීමට ඊයේ (19) රාත්‍රිය වන තෙක්ම නොහැකිව තිබූ බව වාර්තා වේ.

මේ හේතුවෙන් තවදුරටත් විදුලි කප්පාදු කිරීම් සිදු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ, ජනන යන්ත්‍රය මේ වන විට පණ ගැන්වීමට ක්‍රියා කරමින් සිටින බව ය.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් නිසා අක්‍රිය වූයේ, ඊයේ පෙරවරු 11.00ට පමණ ය.

ඒ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වූ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි විදුලිය බිඳ වැටීම් ද සිදු විය.

මේ හේතුවෙන් ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය හා ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකටම විදුලි සැපයීම බිඳ වැටී තිබේ.

මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බලපැම් එල්ල විය.

වසර 2014 දී ඇමරිකානු ඩොලර් බිලියන 1.45ක් වැය කරමින් ඉදිවූ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ අවසන් අදියරින් පසුව මෙතෙක් කිසිදු බලාගාරයක් ඉදි කිරීමට විදුලි බල මණ්ඩලයට නොහැකිවීම විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇති බව විද්වත්මතය වේ.

එහි නිලධාරීන් වෙනම මගක් ගැනීමත් බලධාරීන්ගේ මතයට එකඟ නොවී හිතුවක්කාරි ලෙස හැසිරීම මේ තත්ත්වයට හේතුව බවද පැවසේ.

කෙසේවුවද, අවසානයේ මහජනතාවවට විදුලිය විකිණීම මගින් මුදල් උපයන ලංකා විදුලිබල මණ්ඩලය, පාරිභෝගිකයා අපහසුතාවට පත් නොවන අයුරින් විදුලිය ලබා දීමට අසමත් වී ඇති බව විද්වතුන් කියා සිටී.

මෙරට වැඩිම ඉන්ජිනේරුවන් සිටින ආයතන දෙක ලෙස සැලැකෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ලංකා විදුලිබල මණ්ඩලයයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top