OPEN

#

OPEN

#

Mar 21, 2019

අයවැයට එරෙහිවී විශ්වාසය පලකරන්න - පොහොට්ටුවෙන් අද ශ්‍රීලනිපයට අභියෝගයක් ! Featured

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිකර ගැනීම සඳහා අයවැය පරාජය කිරීමට එකඟවිය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර දෙවන සාකච්ඡාව අද (21) පෙරවරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතිබව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති උත්සවයකදීය.

කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වෙන හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණයට තරග වැදීම සඳහා දෙපාර්ශ්වය අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ඉකුත් 14 වැනිදා පළමුවරට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කළේය.

නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව තීරණාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 'නෙත් නිවුස් 'වෙත අද උදැසන ප්‍රකාශකර සිටියේය. 

පොහොට්ටුවෙන් සමාජ මාධ්‍යය මෙහෙයුමක් !

මේ අතර පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒ මහතා අතර එහි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

එසේම, පොහොට්ටු පක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් පවසන්නේ ඕනෑම මැතිවරණයක් තනිවම තරඟ කර ජයග්‍රහණය කිරීමට පොහොට්ටුවට හැකියාව ඇති බවයි.

කෙසේවුවද අද පැවැත්වෙන සාකච්ඡාවේදී ගන්නා තීන්දු තීරණ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

දෙපාර්ශ්වය විසින් පවත්වනු ලබන සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශ්වයේ ඇතැම් පිරිස් විසින් කරන ලද විවිධ ප්‍රකාශ හේතුවෙන් ගොඩනඟන පුළුල් සන්ධානයට ඇතිවිය හැකි යම් යම් බාධා නැවැත්වීම සඳහා මෙම පියවර ගත් බව 19 දා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.

සබැඳි පුවත් :

හැකිනම් දිනා පෙන්වනු ! – ශ්‍රීලනිපයෙන් බැසිල්ට අභියෝගයක් (Video) 

විමල්ගේ වෙබ් අඩවිය බැසිල්ව විහිලුවට ගනී !

ජනපතිට තේරෙන සත්‍ය බැසිල්ට තේරෙන්නේ නැහැ - විමල්වාදීන්ගෙන් චෝදනාවක් 

සුළු ජාතික ඡන්ද වලින් දිනන්න හිතන්න එපා – අමරසේකරගෙන් බැසිල්ට අවවාදයක් 

ශ්‍රීලනිපය එකතු වුනත් නැතත් 'පොහොට්ටුව' දිනනවා'' -බැසිල් 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top