Mar 21, 2019

'ජනපති නොදන්නා ජිනීවා යෝජනා නැ' - ඩයස්පෝරා සිංහලයන්ට සුමන්දිරන් කියයි (VIDEO) Featured

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය තුල මෙතෙක් සම්මත වූ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා දැන නොසිටි බවට පල කෙරෙන්නේ දුර්මතයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා විසින් ජිනීවා නුවරදී සිංහල ජාතිකවාදීන් පිරිසක් හමුවේ පහදා දෙන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවලට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව යැයි ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය නම් සිංහල ඩයස්පෝරා සංවිධානයේ පිරිසක් විසින් සඳහන් කරන ලද අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “ජනාධිපතිතුමා දන්නේ නැතිව මොනවත් වෙන්නේ නෑ,” යනුවෙනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය ඇතිව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයට සහභාගි වන සර්වපාක්ෂික නියෝජිත පිරිසට ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ නෙරින් පුල්ලේ යන ඇතුලත් වෙති.

දුන් පොරොන්දු කාල රාමුවක් තුල ඉටු කිරීම සඳහා තවත් කල් ඉල්ලා සිටීම වෙනුවෙන් සභාගත කර ඇති අලුත් යෝජනාවට ශ්‍රී ලංකාවේ රජය පාර්ලිමේන්තුවේදී ප්‍රසාදය පල කර තිබුනත් වසන්ත කීර්තිරත්න සහ දුෂාන්ති හපුගොඩ දෙදෙනා ප්‍රකාශ කළ පරිදි ඊට ජනාධිපතිවරයාගේ අනුමැතියක් නැත.

සිංහල කණ්ඩායම මන්ත්‍රීවරයාට එදිරිවාදී ආකාරයෙන් අභියෝග කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගි වී පිටතට පැමිණ දෙමළ මාධ්‍යවේදීන් පිරිසක ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටියදීය.

ඔවුන් මුලින්ම මැදිහත් වුනේ මන්ත්‍රීවරයා ජිනීවාහිදී නියෝජනය කරන්නේ රජයද එසේත් නැතිනම් රාජ්‍ය නොවන සංවිධානයක්දැ’යි තමන්ට ‘ගැටළුවක්’ පැන නැගී ඇති බව පවසමිනි.

තමන් විපක්ෂයේ බව සිහිපත් කරදුන් මන්ත්‍රීවරයා කියා සිටියේ යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධ විමර්ශන සහ වගවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රජයම එකඟවූ දේ ගැන සාකච්ඡා කිරීමට තමන් පැමිණ සිටින බව ප්‍රකාශ කළේය.

අයවැය ඡන්දය හා ජිනීවා:

කොළඹ මාධ්‍ය ආයතනයක මයික්‍රපෝනයක් ද අතැතිව සිටි ඉතාලි වාසී සංජීව දොඩන්තැන්න මහතා දෙමළ ජාතික සන්ධානය අයවැය යෝජනා වලට පක්ෂව ඡන්දය දීම නිසා ජිනීවා ඒමට මග පෑදුනු බවට චෝදනාවක් නැගීය.

අයවැයට ඡන්දය දීම සහ ජිනීවා ඒම අතර සම්බන්ධයක් නොමැති බව කියා සිටි මන්ත්‍රීවරයා, ජගත් ප්‍රජාවට දී ඇති පොරොන්දු පිළිබඳව ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් මීට ඉහත කිහිපවතාවකදීත් ජගත් මානව හිමිකම් මණ්ඩලයට පැමිණ ඇති බව සිහිපත් කර දුන්නේය.

පැහැදිලි කිරීම නොතකා දිගින් දිගටම ප්‍රශ්න කළ සිංහල කණ්ඩායමට “එකපාරක් එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නට පස්සේ නැවත නැවත මගෙන් ඒ ප්‍රශ්නේ අහන්න එපා” යි සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජාතීන් අතර සංහිඳියාව ඇතිවීමට නම් රජය පොරොන්දු ඉටුකිරීම අනිවාර්ය බව ඔහු අවධාරණය කර සිටියේය.

ප්‍රංශය මුලස්ථාන කොටගත් දෙමළ මානව හිමිකම් කේන්ද්‍රය (TCHR) විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නායක නායිකාවන් සමග රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද සහභාගි වී සිටිනු දැකගත හැකිවිය.

(gagana.lk)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top