Mar 21, 2019

මහේන් පෙරේරා තාප්පයකින් පැන යයි : ස්වර්ණවාහිනිය යථා තත්ත්වයට Featured

වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම නිසා ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව එහි සේවකයන් පැවැත්වූ විරෝධතාවය ඊයේ (20) රාත්‍රියේ අවසන් වී තිබේ.

ඒ එම ආයතනයේ වෘත්තීය සමිති නියොජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

එම සාකච්ඡාවේදී අදාළ සේවකයන් නැවත සේවයට බඳවා ගැනීමටත්, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන මහේන් පෙරේරා සේවයෙන් ඉවත් කිරීමටත් ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය ඊයේ (20) එකඟ වීමත් සමඟය.

පසුගිය සෙනසුරාදා සිට ස්වර්ණවාහිනියේ බම්බලපිටිය පරිශ්‍රයේ කොටුවී සිටි මහේන් පෙරේරා මහතා ඊයේ ඉන් ඉවතට පැමිණ ඇත්තේ තාප්පයකින් බව පැවසේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය සිකුරාදා දිනයේදි ලබාදෙන බවට ස්වර්ණවාහිනි පාලනාධිකාරිය සඳහන් කර ඇති අතර එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරම්භ කරන බව එම ආයතයේ සේවකයෝ සඳහන් කරති.

ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් පෙරේදෙ (19) මෙම වර්ජනය ආරම්භ කරන ලද්දේ එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කිරීමට විරෝධය දැක්වීමක් ලෙසය.

ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසද සිටිති.

ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සිට මේ දක්වා ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති විකාශන සහ සජීවී වැඩසටහන් ගණනාවක් විකාශය නොවීය.

මහේන් පෙරේරා පැන ගිය මාර්ගය ලෙස දක්වමින් මේවන විට සමාජ ජාලවල ඡායාරූප කිහිපයක් පලවී තිබේ. අදාළ ඡායාරූප පහත දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top