Mar 21, 2019

එජාප මන්ත්‍රී වෙඩි තබා ගත්තේදැයි සැකයි

බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදීමෙන් මේ වන විට කරාපාටාය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එය තමා විසින් සිදුකර ගත් වෙඩි තැබීමක්දැයි පොලිසියට සැකයක් මතුව තිබේ.

ඔහුගේ කලව ප‍්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ශල්‍යකර්මයක් සඳහා කරාපිටිය රෝහලට ඇතුළු කර ඇති අතර ජීවිතයට අනතුරක් නැති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බෙලිඅත්ත පල්ලත්තර පිහිටි නිවසේ නිදන කාමරයේදී ඒ මහතාට වෙඩි වැදී තිබෙන අතර නිදන කාමරයේ මෙට්ටය යට තිබී බෝර 12 ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 4 ක්ද පොලිසියට හමු වී ඇත.

ඊයේ (20) පෙරවරු 7.30 ට පමණ වෙඩි වැදීම සිදුව තිබෙන අතර එම අවස්ථාවේ නිවසේ ඔහුගේ දෙමාපියන් සහ දරුවන් දෙදෙනා සිට ඇත. කලව ප‍්‍රදේශයට වෙඩි වැදීමත් නිවසේ පිහිටීම සහ අවට පරිසරය අනුවත් පිටස්තර පුද්ගලයකුට වෙඩි තබා පලායෑමේ හැකියාව අවම බව පොලිසිය කියයි. එම වෙඩි තැබීම ඔහු විසින්ම සිදුකර ගන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි. ගිනි අවිය රස පරීක්‍ෂකවරයාට යොමු කර වැඩිදුර වාර්තාවක් ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂයෙන් දෙවනුව වැඩිම මනාප ලබා විපක්‍ෂ නායක ධුරයට පත් කපිල මහතාගේ බිරිඳ වෙන්ව ඇත. පවුල් ආරවුල් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ බවත් එම නිලධාරීයා කීය. මෙම නිවසේ වයස අවුරුදු 18 ක පමණ තරුණියක්ද නැවතී සිටින බව පොලිසිය කියයි.

නිවසේ තිබී හමු වූ ගිනි අවිය බලපත‍්‍ර නොමැති ගිනි අවියක් බවත් වෙඩි වැදීමෙන් පසුව ද අමරකෝන් මහතා නිවසේ තැනින් තැන ඇවිද ඇති බවට ලේ පැල්ලම් වැටී ඇති ආකාරය අනුව දක්නට තිබෙන බවත් පවසන පොලිසිය විපක්‍ෂනායකවරයා වෙඩි වැදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහල් කාර්ය මණ්ඩලය විසින් පොලිසිය දැනුවත් කළ බවද කීය.

තංගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සබැඳි පුවත්

එජාප මන්ත්‍රී වෙඩි වැඳී රෝහලේ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top