Mar 21, 2019

Pick me මාෆියාව රියදුරන් දිගහරියි Featured

ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුලී රථ සේවාවක් වන පික් මී කුලී රථ සේවාව සිදු කරනා වංචා හේතුවෙන් තමන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි එම කුලී රථ සේවාවට ලියාපදිංචි වී සිටිනා කුලී රථ රියදුරන් චෝදනා කර සිටී. පසුගිය 18 සහ 19දා පික් මී කුලී රථ සේවාව ඉදිරිපිට පැවැති විරෝධතාවයකදී රියදුරන් මේ බව පැවසීය.

එහිදී පික් මී කුලී රථ රියදුරන් චෝදනා කර සිටින්නේ මෙම සේවාව මගින් ඉතා අඩු මිලට කුලී රථ සේවාව ලබා දීම හේතුවෙන් තමන්ගේ ආදායම අඩු වී රියදුරන් පාඩු ලබනා තත්ත්වයට පත්ව ඇති බවයි. පාරිභෝගිකයාට ඉතාම අඩු මුදලක් ලබා දෙන නමුත් එයින් ලද පාඩුව රියදුරුගෙන් පියවන බව ඔවුන් කියා සිටී. මේ වන විට පික් මී ආයතනයේ ලියාපදිංචි කුළී රථ සංඛ්‍යාව 90,000 කි. ඒ සෑම රථයකින්ම දිනපතා රුපියල් 100 ක ගාස්තුවක් ආයතනය විසින් ලබා ගන්නා අතර එය අදාළ දිනයේ රියදුරා සේවයේ යෙදී සිටියත් නොසිටියත් ගෙවිය යුතුව ඇත.

එමෙන්ම රුපියල් 5000 ක හයර් එකක් යන්නේ නම් එයින් රුපියල් 600 ක් ආයතනය අයකරගන්නා බවත් තෙල් සඳහා මුදල් වෙන් කළ විට තමන්ට ඉතුරු වන්නේ සොච්චමක් බව ඔවුන් කියා සිටී. මේ අතර යම් රියදුරෙකු අලුතෙන් ලියාපදිංචි වූ විට පළමු මාසයේ ඔවුන්ට යහමින් සේවා අවස්ථා (හයර්) ලබාදී ඔවුන් තම ග්‍රහණයට ගන්නා බවත් පසුව ඔවුන් නොසලකා හරින බවත් ඔවුන් පෙන්වාදෙයි.

ආකර්ෂණීය වැටුප් පිළිබඳව කරුණු දක්වා පලකරනු ලබන දැන්වීම්වලට මේ අතරින් බොහෝ දෙනෙක් රැවටෙන බවද ඔවුන් පවසයි. වාහන නඩත්තුවට සහ ඉන්ධන වියදම් සදහා වැය වෙන මුදල් ඉවත් කළ පසු කුලී රථ රියදුරන්ට ප්‍රමාණවත් ආදායමක් ඉතුරු නොවන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි. එමෙන්ම රැකියාවේ ආරක්ෂාවක් නොමැති කමත් පික්මී රියදුරන් දෙදෙනෙකු මහ මඟ මියගිය අවස්ථා දෙකකදී මෙම ආයතනය ඔවුන්ගේ වටිනාකම නිර්ණය කළේ රුපියල් 15000 බැඟින් බවද ඔවුන් පවසයි.

මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට කුලී රථ රියදුරන් පික් මී ආයතනයට පැමිණ සාකච්ඡා කිරීමට අවස්තාවක් ඉල්ලා සිටියද එම ඉල්ලීම පික් මී සමාගමේ ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කළ බවද රියදුරන් කියා සිටී. ඉන්පසුව පික් මී කුලී රථ සේවාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ සිදුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට රියදුරන් සුදානම් වූ විට පසුගිය 18 සහ 19 දා පික් මී කුලී රථ සේවාවේ ප්‍රධාන කාර්යාලය වසා දැමීමට එහි බලධාරීන් කටයුතු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top