Mar 22, 2019

''හමුදාව අල්ලාගත් ඉතිරි ඉඩම් ආපසු දෙන්න බැහැ'' - ශ්‍රී ලංකාව ජිනීවාහි දී කියයි Featured

රජයේ ආරක්ෂක අංශ බලහත්කාරයෙන් වාඩිලාගෙන සිටින උතුරේ ඉඩම් තවදුරටත් ඒවායේ හිමිකරුවන්ට පවරා නොදෙන්නට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තීරණය කර තිබේ.

භූමිය නිදහස් නොකිරීමට හේතුව ලෙස ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් “ජාතික ආරක්ෂාව” ගෙනහැර දැක්වුවත්, ජනාධිපතිවරයා පවසන පරිදි ඉඩම් බෙදාහැරීමට බාධාව වී ඇත්තේ “උතුරේ කුලවාදය” යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා ගිය සර්වපාක්ෂික නියෝජිත පිරිසේ නායකයා ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ රජයේ ස්ථාවරය දැනුම් දුන්නේ උතුරේ පවුල් ගණනාවක් තම පාරම්පරික ඉඩම් ආපසු දෙනලෙස ඉල්ලා දෑවුරුද්දකට වැඩි කලක් මහමග විරෝධතා පවත්වමින් සිටියදීය.

වාඩිලාගත් භූමිය “දිගටම ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන සිටිනු ඇතැ,” විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, මේ වනවිට ආණ්ඩුව මුදාහැර ඇත්තේ ඉඩම් වලින් 75% ක් පමණෙකැ’යි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් මානව හිමිකම් පිළිබඳ එජා මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවද ප්‍රතික්ෂේප කරමිනි.

“2009 මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගනු ලැබූ 28,215.29 න්, අක්කර 26,005.17 (92.16%) ක් 12 දා වනවිට මුදාහැර ඇතැ,” යි තිලක් මාරපන අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ කියා සිටියේය.

“කෙසේවෙතත්, ජාතික ආරක්ෂාවේ සන්දර්භය යටතේ අවශ්‍ය වී තිබෙන ඉතුරු ඉඩම්, දිගටම ආරක්ෂක සේනා සන්තකයේ තබාගනු ඇති අතර, පුද්ගලික ඉඩම් වලට වන්දි ගෙවනු ලැබේ.”

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද ගණන් හිලව් අනුව අල්ලාගත් ඉඩම් වලින් 75% ක් මුදාහැර ඇති අතර තවත් අක්කර 29,000 කට ආසන්න ප්‍රමාණයක හමුදාව වාඩිලාගෙන සිටී.

ජනපති ගේ ‘කුලවාදී’ හේතු දැක්වීම:

රජයේ සේනා ඉඩම්වල දිගටම රැඳී සිටීම යුක්ති සහගත කිරීමට අමාත්‍යවරයා ජිනීවාහිදී ජාතික ආරක්ෂාව හුවා දැක්වුවත්, ඊට දවසකට පෙර ජනාධිපතිවරයා විසින් ඉතුරු ඉඩම් බෙදාහැරීමට නොහැකි වීමේ හේතුව ලෙස රට තුලදී ප්‍රකාශයට පත් කළේ උතුරේ ‘කුලවාදය’ යි.

“නිදහස් කරපු ඉඩම් ටික කුලවාදය නිසා එක් එක් කුලවල අයට තමයි වටිනා ඉඩම් සහ වටිනාකමින් අඩු ඉඩම් කියලා වෙන් කරලා දෙන්න ඒ ප්‍රදේශ වල අය තීන්දු කරලා තියෙන්නේ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත්‍රලාභීන් අමතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාට තමන් මේ සම්බන්ධයෙන් කරුනු දැක්වූ බව එහිදී කියා සිටි ජනාධිපතිවරයා, විසින් මේ වනවිට උතුරේ නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණය දක්වන ලද්දේ “හරියටම 90% ක්” වශයෙනි.

දෙමළ ජනතාව පලවා හැර අත්පත් කරගත් ඉඩම් බෙදාහැරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නොසතුට පල කරන මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රනයක් පිහිටුවන ලෙස නිර්දේශ කර තිබේ.

(gagana.lk)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top