Mar 22, 2019

වැල්ලම්පිටිය ව්‍යාපාරිකයන් අතුරුදහන් කිරීම නේවි එක දැන ඉඳලා

වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී දෙමළ ජාතික ව්‍යාපාරිකයකු ඇතුළු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයකු වන ජයන්ත පෙරේරා මහතා සහ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ආනන්ද ගුරුගේ මහතා මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන් සිද්ධිය ගැන දැනුම්වත්ව සිට ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට ඊයේ (21) දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව එහිදී රහස් පොලීසිය අධිකරණයට දැන්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන අප්‍රේල් (04) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඊයේ නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක ඉලංගසිංහ මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය සිදු කළාය.

2009 වසරේ දී වෑන් රථයකින් ගමන් කරමින් සිටිය දී කොටහේන හා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුවේල් පක්කිලසාමි ලෝගනාදන් හා රත්නසාමි පරමානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අතුරුදහන් වූ ව්‍යාපාරිකයකුට අයත් වෑන්රථය කොටස් 72කට කපා වැලිසර නාවික හමුදා කදවුරේ ගරාජයක සඟවා තිබිය දී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත් වී තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 4 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියම කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top