OPEN

#

OPEN

#

Mar 24, 2019

මන්නාරම සමූහ මිනීවලේ කැනීම් නවතයි Featured

මන්නාරම සමූහ මිනීවලේ  කැණීම් කටයුතු තාවකාලිකව මාස තුනක කාලයක් වසා දැමීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා 22 වනදා සවස නියෝග කළ බව මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
 
සමූහ මිනීවලේ  කැනීම සිදුකල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, පොලිස් නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අනුබද්ධ නිලධාරීන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතී පාර්ශවයන් සමඟ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වු සාකච්ජාවේදී මහේස්ත්‍රාත්වරයා අදාළ තීරණය ලබාදී ඇත.
 
දැනට කැනීම් මඟින් විවෘත කොට තිබෙන සමූහ මිනීවල තුළින් ගොඩ ගැනීම සිදු නොකොට මිනීවල තුළින් මතුකරගෙන ඇති අස්ථි කොටස් මාස තුනක කාලයක් විවෘතව තැබීමෙන් අදාළ අස්ථිවලට හානියක් සිදුවෙතැයි යන සැකය මත දැනට මතුව තිබෙන අස්ථි කොටස්ද පස් දමා තාවකාලිකව වසා දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද ශමින්ද රාජපක්ෂ  සඳහන් කළේය.                                                                                                
මීට අමතරව සමූහ මිනීවල කැනීම් කටයුතු සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු  කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ‍ ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමේ පුරාවිද්‍යා වාර්තාවද මාස තුනක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබාදෙන ලදි.
 
අදාළ වාර්තාවන් ඉදිරිපත් වීමෙන් අනතුරුව සමූහ මිනීවල සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙන අතර, ඉදිරි දිනකදී විනිවිදභාවයෙන් යුතුව සියලු පාර්ශව ඉදිරියේ සමූහ මිනීවල තුළින් මතුවු අස්ථි කොටස් තාවකාලිකව පස් දමා වසා දැමීම සිදුකිරීමට නියමිත බව මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතා නියෝග කොට සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top