Mar 25, 2019

අගමැතිට ලැබුණ තෑග්ගට පරිසර සහතික නෑ

ඊයේ (24) දින මුල්ගල් තබනු ලැබූ හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය(රජය පවසන පරිදි සිමෙන්ති කම්හල) සඳහා පරිසර සහතිකයක් නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිදරව් කරයි.

එම ව්‍යාපරාය පවසන පරිදි මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ Accor Group Company යන සමාගම හා ඉන්දියාවේ තමිල්නාඩු සමාගමක් වන Silver Park International (Pvt) Ltd. සමාගම රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට සම්බන්ධකමක් ඇති මෙරට සමාගමක් වන Lanka Oil Refinery Ltd සමාගම සමග එක්ව තෙල් පිරිපහදුවක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එහෙත් එම අවස්ථාවේ රජය Lanka Oil Refinery Ltd සමාගමට තෙල් සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බව පවසා එම ව්‍යාපෘති යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව සිංගප්පූරු වේ පිහිටා ඇති Silver Park International (Pvt) Ltd සමාගම Oman Oil and Gas Company සමග එක්ව හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය සඳහා වන යෝජනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. සාමාන්‍යයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ වහාම ආයෝජන මණ්ඩලය විසින් එම යෝජනාව පිළිගන්නේ නම් පරිසර සක්‍යතා වාර්තාවක් කැදවනු ලබයි. නැතහොත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හා වෙනත් ආයතන එක්ව තාක්ෂණික කමිටුවක් මේ සදහා පත්කරනු ලබයි. එහෙත් අනීතික ආකාරයට ආයෝජන මණ්ඩලයට බලපෑම් කළ Lanka Dockyard ආයතනයේ නිළයක් දැරෑ හා වර්තමානයේ ආයෝජන මණ්ඩලයේ නිළයක් දරන පුද්ගලයෙක් අමාත්‍ය මලික්සමරවික්‍රම බලපෑම යටතේ ඉහත කී යෝජනාව පිළිගෙන පරිසර සක්‍යතා වාර්තාවක් කැඳවන්නේ නැතිවම උක්ත ආයෝජන ගිවිසුමට අත්සන් තැබුවේ නීති විරෝධීව බව එම ව්‍යාපරාය පෙන්වාදෙයි.

පරිසරයට බලපාන අධිසංවේදී කාරණයකදී පරිසර සක්‍යතා වාර්තාවක් අනිවාර්ය වන අතර කලාපයට පමණක් කරන මූලික පරිසරයක් කිසිවිටකත් ප්‍රමාණවත් නොවන බවත් මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට ඇත්තේ පසුගිය රජය විසින් කලාපයට කරන ලද මූළික පරිසර වාර්තාවක් පමණක් බවත් ඊට හම්බන්තොට නගර සභාවේ අනුමැතිය පවා හිමිව නැති බවත් ඔවුන් කියා සිටී.

මේ පිළිබඳව නිවේදනක් නිකුත් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙසේද පවසයි.

"මෙම තෙල් පිරිපහදුව නිසා සංචාරක ආකර්ෂණයක් ඇති තංගල්ල, උණවටුන, හික්කඩුව යන වෙරළ තීරයෙන් විනාශ වීමට ඇති ඉඩකඩ ඉහළයි. කොළඔ වරාය නගර සැළැස්ම ආරම්භක අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පරිසර සක්‍යතා වාර්තා නැති නිසා එම ව්‍යාපෘතිය නවතා දමන බව. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍ය ධූරය දරන වර්තමාන රජය විසින් හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුවේ ආයෝජන ගිවිසුමට අත්සන් තැබුවේ සහ මුල්ගල් තබන්නේ කිසිඳු පරිසර අනුමැතියකින් තොරවයි".

මිරිජ්ජවිල ඉදිකරන්නේ සිමෙන්ති කම්හලක් බව නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි. එය සිමෙන්ති කම්හලක් නොව කොන්ක්‍රීට් අංගනයකි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 16 වගන්තියයට වැටෙන ව්‍යාපෘතියක් වගන්ති අංක 17 යටතේ වන අනුමැතියක් ලබා දීමට මැදිහත් වන්නේ මලික් සමරවික්‍රම මහතාය. ඒ අනුව විශාල බදු සහන රැසක් උක්ත සමාගමට ලැබෙන බවත් ඔහුන්ගේ ආරම්භයත් සමග මෙරට කොන්ක්‍රීට් කර්මාන්තයේ නියැලෙන සමාගම් වසා දැමීමට සිදුවන බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

සබැඳි පුවත්

70 ලැබූ අගමැතිට වටිනාම තෑග්ගක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top