OPEN

#

OPEN

#

Apr 02, 2019

ශ්‍රී ලංකාව “සිංහල බෞද්ධ බහුතරයට වාසිදායක රාජ්‍යයක්” - ICG (වීඩියෝ) Featured

 

යුද්ධය අවසන් වී දස අවුරුද්දක් ගතවී තිබියදීත් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සිංහල බෞද්ධයන්ට වාසි සැලසෙන ආකාරයෙන් පැවතීම රටේ අභිවෘද්ධියට හානිදායක බවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නායකයකු අනතුරු අඟවා තිබේ.

ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප් (ICG) ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇලන් කීනන් වන්නියේදී දෙමළ මාධ්‍යවේදීන්ට ඒ බව කියා සිටියේ උතුරු නැගෙනහිර පලාත් සහ මායිම් ගම්මාන වල සිදුකරන ලද සංචාරයකින් අනතුරුවයි.

යුද්ධයේ අවසාන සටන සිදුවූ මුල්ලිවයික්කාලේ පිහිටි ස්මාරකයක නරඹා, හමුදාව වාඩිලා ගත් ඉඩම් ඉල්ලා දෙවසරකට අධික කාලයක් මහමග අරගල කරන කේපාපුලවූ මුල් ගම්වාසීන් සහ අතුරුදහන් තම නෑසියන් ගේ ඉරණම හෙළි වන තුරු විරෝධතා පවත්වන මුලතිව් වැසියන් හමුවීමෙන් පසු ඔහු පවසා සිටියේ රාජ්‍යය තවමත් දෙමළ හා මුස්ලිම් ජනතාවට වෙනස්කම් දක්වන බවයි.

''ගොඩක් දේවල් යහපත් අතට හැරී තිබෙනවා,''

“විවිධ ස්ථාන වලට ගියාට පස්සේත්, ශ්‍රී ලංකාව ගැන අවුරුදු ගණනක් අධ්‍යයනය කිරීමෙන් පසුවත් මට පැහැදිලි වන දෙයක් තමයි, යුද්දයෙන් පස්සේ සෑහෙන තරමට ගොඩක් දේවල් යහපත් අතට හැරී තිබෙනවා,” යි ඇලන් කීනන් මුලතිව් හිදී මාධ්‍යවේදීන්ට පැවසීය.

“තවදුරටත් සටන් නෑ, බෝම්බ පත්තුවෙන්නේ නෑ, සමූහඝාතන නෑ. මං හිතනවා ඒක හැම ප්‍රජාවකටම හොඳ දෙයක් කියලා. ඒත් මට හොඳින් වැදුනු දෙයක් තමයි, යුද්ධයට හේතුපාදක වුනු දේවල්, තමන් කොන් කර දමා ඇති බවට බොහෝ දෙමළ අය අතරේ ඇති හැඟීම, ඒ වගේම ස්වයංපාලනයක් නැති කම, තමන් බහුතරයක් ලෙස ආරක්ෂා සහගතව ජීවත් විය හැකි තමන්ගේම තැනක් නැති කම; ඒ ප්‍රශ්න විසඳලා නෑ.

ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහයන් අනික් ප්‍රජාවන් අබිබවා සිංහල බෞද්ධ බහුතරයට වාසිදායක විදියටයි තිබීම දිගටම ලොකු ප්‍රශ්නයක්. ඒක දෙමළ ජනතාවට සලකන විදියෙන් විතරක් නෙවෙයි, මුස්ලිම් ජනතාවට සලකන විදියෙනුත් එලියට ඇවිත් තියෙනවා.

උදාහරණයකට ගිය අවුරුද්දේ නුවර සහ දිගන ඒවගේම කලින් අලුත්ගම ඇතිවූ ප්‍රචණ්ඩතා. සියලු දෙනා අන්තර්ග්‍රහණය කරගන්නා වඩාත් බහුවිධත්වයකින් යුත්, සියලු ප්‍රජාවන්ට එම රාජ්‍යය හා එම ප්‍රතිපත්ති සුරක්ෂිත බව හැඟී යන ආකාරයට ආණ්ඩුව රාජ්‍යයේ ස්වභාවය නැවත සකස් කරන්නේ නැතිනම්, ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා මම සෑහෙන කනස්සලෙන් ඉන්නේ.”

ප්‍රශ්න වලට හේතුව සදහටම ඉවත් කළේ නැතිනම් ප්‍රශ්න නැවත ඇතිවීමේ අවදානම ගැන ICG ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇලන් කීනන් බිය පල කළේය.

(උපුටා ගැනීම - gagana.lk)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top