ශ්‍රී රාහුල විද්‍යාලය, ඉසුර විද්‍යාලය ලෙස නම් කිරීම ගැන සමාජ මාධ්‍ය බරපතල විවේචනයක ශ්‍රී රාහුල විද්‍යාලය, ඉසුර විද්‍යාලය ලෙස නම් කිරීම ගැන සමාජ මාධ්‍ය බරපතල විවේචනයක
Apr 05, 2019

''පොදු දේපලවලට දේශපාලකයින්ගේ නම් එපා'' - සමාජ මාධ්‍ය විරෝධයක්

තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් නමින් නම් කළ පාසලක් බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රියගේ නමින් නම් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කෝපය පළ වේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් ශ්‍රී ලාංකීය ඉතිහාසයට එක් වන්නේ, යති ලකුණු අතික්‍රමණය කළ මහා සෞන්දර්යවාදියෙකු සහ සාහිත්‍යධරයෙකු ලෙසය.

එකී නම ඉවත් කර ඊට මහ ඇමතිවරයාගේ නම යොදා ගැනීමේ පියවර විවේචනයට මෙන්ම හාස්‍යයට ලක් කර සැකසුනු ඇතැම් ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

ජනතා බදු මුදලින් ඉදි කෙරෙන පොදු දේපලවලට දේශපාලනඥයන්ගේ නම් යොදා නොගත යුතු බව ඊට කෝපය පළ කරන බොහෝ දෙනාගේ මතය වී ඇත.

හාස්‍යයට ලක් කර ෆේස්බුක් හි පළ වූ අදහස්

හාස්‍යට ලක් කර ෆේස්බුක් හි පළ වූ අදහස්කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පළමු සුහුරු පාසල බවට පත් කිරීමට ප්‍රතිපාදන ලබා දී ඇත්තේ බස්නාහිර පළාත් සභාව විසිනි.

ඒ සමග "ඉසුර විද්‍යාලය කෝට්ටේ" ලෙස නම් කෙරුණු පාසලේ සුහුරු පන්ති කාමර සහිත සිව්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

ගොඩනැගිල්ල නම් කර ඇත්තේ 'මෛත්‍රීපාල සිරිසේන සුහුරු පියස' ලෙසය.

ෆේස්බුක් හි පළ වූ අදහස්

ෆේස්බුක් හි පළ වූ අදහස්

පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමට අදාළ ඡායාරූප මහ ඇමති ඉසුර දේවප්‍රිය සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අතර විශාල පිරිසක් ඊට සිය විරෝධය පළ කර තිබිණ.

"හාල් පාරු දේශපාලකයෝ. මුන්ගේ ගෙවල්වලින් ගේනාපු සල්ලි වලින් හදලද මුන්ගෙ නම ගහන්නේ?? ලැට් එකක් හැදුවත් ඒකේ නම ගහන්න බලන් ඉන්නේ," යනුවෙන් දුමිදු විද්‍යාදිත්‍ය නමැති තරුණයෙකු ඊට සිය අදහස (comment) එක් කර තිබිණි.

'Saga N Randi' නමැති අයෙකු සිය අදහස එක් කරමින් පවසා ඇත්තේ "ඕවට මුන්ගෙ නම් දාගත්තට කමක් නෑ මුන්ගෙ සල්ලිවලින් මේව හැදුව නම්. යකෝ රටේ මිනිස්සු අමාරුවෙන් හම්බකරන දේවල්වලින් කරන දේවල්වලට මුන්ගෙ නම් දාගන්න ලස්සන. මේවට කඩේ යන මීහරක් එලදෙන්නුත් ඉන්නවනෙ ඉතින්," යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් මහ ඇමතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඒ පිළිබඳ විමසීම සඳහා මහ ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවීය.

මහ ඇමති ඉසුර දේවප්‍රියගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් සමාජ ජාල තුළ සංවාදයක් ආරම්භ වූ පළමු අවස්ථාව මෙය නොවේ.

ෆේස්බුක් හි පළ වූ අදහස්

 

අලුතින් ඉදි කළ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ මන්ත්‍රී අසුන් සඳහා ඇති විශාල මහජන මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස විවේචනයට ලක් විය.

එමෙන්ම බුලත් අතක් ගෙන පැමිණි පාසල් දරුවෙකුට "'ඕක නතර කරන්න ඕනෑ. බුලත් කෑලි දෙක තුනක් අරන් ඕක අරන් යන්න. ගිහිල්ලා ප්‍රින්සිපල්ට ගේන්න කියන්න. උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා," යනුවෙන් පැවසීමේ සිදුවීම ද ඒ අතර වේ.

ඒ සම්බන්ධයෙන් සටහනක් තබන ලද ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල "තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ භාෂාවක් නොවෙයි සංස්කෘතියක්. ඒක පුරාවෘත්තයක්. ඇත්තටම භාෂාව ආගම රැක ගන්න සංස්කෘතිකමය උවමනාවක් තිබෙනවා නම් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ නම වෙනස් කරන්නේ නැහැ," යනුවෙන් සඳහන් කළේය.

"නම් දා ගැනීමේ ව්‍යාජ සම්ප්‍රදායට එරෙහිව" සයිබර් අවකාශය තුළ යම් ඉඩක් පවතින බව කී උපුල් ශාන්ත සන්නස්ගල "ඉසුර දේවප්‍රියගේ නම අයින් කරලා තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ නම නැවත ස්ථාපිත කරන්න තරම් කවුරු හරි අරගලයක් කරනවා නම් ඒක සංස්කෘතික ජයග්‍රහණයක් වශයෙන් මම දකිනවා," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

වත්මන් තරුණ පරපුර

ජනතා බදු මුදලින් ඉදි කෙරුණු පොදු දේපල දේශපාලනඥයන් නමින් නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.

පොදු දේපල නම් කිරීම සඳහා සිය නම යොදා නොගන්නා බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදී ම සපථ කළේය.

එමෙන්ම පැවති පාලන සමයේ ඉදි කළ යෝධ සංවර්ධන ව්‍යාපෘති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් නම් කිරීම එවක දැඩි විවේචනයට ලක් විය.

කෙසේ නමුත් පොදු දේපල දේශපාලනඥයන්ගේ නමින් නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් තරුණ පරපුර අතර මේ වන විට විරෝධයක් මතු වෙමින් පවතී.

විරෝධයට වේදිකාව සකස් වී ඇත්තේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේය.

එවැනි විරෝධතා හමුවේ දේශපාලනඥයන්ට "බෝඩ් හකුලා ගැනීමට" සිදු වූ අවස්ථා ද මෑතකදී දැකගත හැකි විය.


අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ රුව දැක්වෙන ඡායාරූපය පසුව ඉවත් කෙරිණි.

අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ රුව දැක්වෙන ඡායාරූපය පසුව ඉවත් කෙරිණි.

අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ රුව සහිතව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය සම්බන්ධයෙන් ස්ථාපනය කර තිබූ පුවරුව ඊට ආසන්නතම උදාහරණයයි.

ඒ සඳහා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වූ දැඩි විවේචන හමුවේ තම රුව සහිත පුවරුව ඉවත් කර ගැනීමට ඔහු කටයුතු කළේය.

පොදු දේපල

මේ අතර ශ්‍රී ලංකාවේ ඉදිවෙන මාර්ග සහ අතුරු මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත පුවරු ඉදිකිරීම කෝපයටත් හාස්‍යයටත් ලක් වීම හමුවේ එහි යම් වෙනසක් සිදු වන ආකාරයක් දැකිය හැකිය.

"බදු ගෙවන ඔබගේ මුදලින් මෙම මාර්ගය සංවර්ධනය කරන ලදි," යනුවෙන් සඳහන් පුවරුවල ඡායාරූප සමාජ ජාල ඔස්සේ මේ දිනවල හුවමාරු වන අයුරු දැකගත හැක්කේ එවන් පසුබිමකදීය.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top