Apr 05, 2019

"මාව මධූෂ්ට අඳුන්වලා දුන්නේ අමල්" - රයන් කියයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිගම පොලිසියට භාර දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 18කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සොයා ගත් රයන් වැන්රූයන් භාවිත කළ බවට තොරතුරු හෙළි වූ මෝටර් රථය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා සැකකරු වැලිගම පොලීසියට භාර දී ඇත.

අනතුරුව ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙකුත් සිව් දෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටී.

පාතාල නායක මාකඳුරේ මධූෂ් රයන් වැන්රූයන්ට හඳුන්වා දී ඇත්තේ ගායන ශිල්පි අමල් පෙරේරා බව ප්‍රශ්න කිරීම්වලදී ඔහු පසවා තිබේ.

මීට පෙර ඩුබායි හි පැවති ප්‍රසංගයකදී අමල් පෙරේරා විසින් තමන්ට මාකඳුරේ මධූෂ් හඳුන්වාදුන් බ‍ව ඔහු සඳහන් කර ඇත.

තවද, ගායන ශිල්පි අමල් පෙරේරාද නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි පොලිසිය පවසයි.

මධූෂ් ගැන බලන්න තිලක් ඩුබායි යයි

මේ අතර, ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (03) දිනයේ දී අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරදී මෙම විශේෂ හමුව සිදු වූ බවද එම රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු දෙරට අතර බලපාන ද්විපාර්ශවික ගැටලු නිරාකරණය කර ගැනීම් පිළිබඳවද තිලක් මාරපන අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපයේදී නිල දැනුම්දීමකින් තොරව ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා හමුවේ කරුණු සැලකර ඇතැයිද දැන ගන්නට ලැබේ.

මෙම සංචාරය අමාත්‍යවරයා පෙර සැලසුම් කළ සංචාරයක් නොවන බවද රජයේ ආරංචි මාර්ග කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top