Apr 08, 2019

'මෛත්‍රී ගැන කිසි විශ්වාසයක් නෑ- ශ්‍රීලනිප සමග සාකච්ඡා එපා' - පොහොට්ටුව කියයි Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒපිළිබදව තීන්දුවක් ගතයුතු බවත් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතම අනුගාමිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන ඔහු පෙන්වා දෙන්නේ අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්‍රීලනිපය නැවතත් මේ රටේ ජනතාව රැවටූ බවයි.

උඩුගම්පල දී මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ උපාධීධාරී සංගමයේ රැස්වීමක් අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

නාහෙන් අඩපු ජනාධිපති :

” ආණ්ඩුවේ සිහින අය වැය අවසන් ඡන්ද විමසීම වෙළාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඊට කලින් දවසේ අපේ කණ්ඩායම් රැස්වීමට ආපු ජනාධිපතිවරයා කිව්වේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ කියලයි.

තමන්ට වැඩ කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා කියලා නාහෙන් අඩපු ජනාධිපතිතුමා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කලා. ඒ වුනාට පහුවදා අය වැය ඡන්දය වෙලාවේ ඡන්දය දීමෙන් වැලකී ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප මේ කලේ අනියම්ව රනිල්ට හා රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාදයක් ආණඩුව පවත්වාගෙනයාමට උදව්වක් . කොටින්ම කිව්වොත් දෙපිට කාට්ටු වැඩක්. ශ්‍රීලනිපයේ දවල් මිගෙල් රෑ දනියල් ප්‍රතිපත්තිය තමයි මේකෙන් නැවත පැහැදිලි වුනේ...

ශ්‍රීලනිපයේ හැසිරීම අපට කිසිසේත් අනුමත කරන්න බෑ. ආණ්ඩුව විවේචනය කරනවනම් කොන්දක් ඇතිව තීන්දුවක් ගන්න මේ අයට පුළුවන්කමක් තියෙන්න ඕනෙ. 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා අද දක්වාම මේ අය කළේ ශ්‍රී ලංකාකාරයන් වගේම රටත් රවට්ටපු එක. මේ රටේ ජනතාව රවට්ටපු එක. පිටිපස්සෙන් පිහියෙන් අනින එක.

අප තවදුරටත් ශ්‍රීලනිපයට රැවටෙන්න ඕනෙ නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ. ඒ නිසා සන්ධානයක් සදහා යන පොහොට්ටු – ශ්‍රීලනිපෙ සාකච්ඡා ගැන අපට නැවත නැවත සිතා බලන්න වෙනවා. ඒකාබද්ධ විපක්ෂනායකයන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය.''

ශ්‍රීලනිපය ගැන විශ්වාසයක් නැහැ - පොහොට්ටු සභාපති

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති බවයි.

හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම අදහස් පළ කළේ දඹුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිදු කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළේය.

හඬපටය

මහින්දගේ ස්ථාවරය මෙන්න :

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, අයවැයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්ද විමසීමෙන් ඉවත් වීම වක්‍රව එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමක් බවයි. ඒ, අනුරාධපුරයේ දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

අයවැය ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය ද එය නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් පවත්වන සාකච්ඡාවලට බාධාවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පැවසිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top