'ගෝඨාට විරුද්ධව තවත් නඩු දාන්න එන්න': යැස්මින් සූකා ගෙන් ඉල්ලීමක් 'ගෝඨාට විරුද්ධව තවත් නඩු දාන්න එන්න': යැස්මින් සූකා ගෙන් ඉල්ලීමක්
Apr 09, 2019

තත්ත්වය බරපතල වන ලකුණු ! : ගෝඨාට එරෙහිව ජාත්‍යන්තර ඉල්ලීමක් !! Featured

වධබන්ධන හා ඝාතන සම්බන්ධයෙන් විභාග කිරීමට එක්සත් ජනපද අධිකරණයකට කැඳවා ඇති ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව තවත් නඩු පැවරීමට එක්වන ලෙස මුල් පෙලේ මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකා යුද පීඩිතයන්ට විවෘත ආරාධනයක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂවරිය එම ඉල්ලීම කර ඇත්තේ, වධහිංසාව සහ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා නගමින් ගෝඨාභය රාජපක්ෂ ට විරුද්ධව නඩු දෙකක් පවරනු ලැබීමෙන් අනතුරුවය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා විසින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සමයේ යුද අපරාධ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥවරියක වන යැස්මින් සූකා දකුණු අප්‍රිකාවේ සහ සියරා ලියොනයේ සත්‍ය හා සංහිඳියා කොමිසම් වලද දකුණු සුඩානයේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේද සාමාජිකාවකි.

සන්ඩේ ලීඩර් පුරෝගාමී කතුවර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ද, තුන් අවුරුද්දක් රඳවා තබාගෙන වධහිංසාවට ගොදුරු කරගන්නා ලද දෙමළ පුද්ගලයකු වෙනුවෙන් ITJP සහ ජාත්‍යන්තර නීතිවේදී ආයතනයක් වන හවුස්ෆෙල්ඩ් කැලිෆෝනියා උසාවියක පැමිණිලි ගොනු කර ඇත.

“අනාගත ජනාධිපති හමුවෙමු” යනුවෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලොස් ඇන්ජලිස් කොන්සල් මල්රාජ් ද සිල්වා විසින් සංවිධානය කර තිබූ උත්සවයකට යමින් සිටි ගෝඨාභය රාජපක්ෂට 7 ඉරිදා සිතාසි භාර දී ඇත්තේ ට්‍රේඩර් ජෝස් ඇමරිකානු සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රථ ගාලේ දීය.

වගවීමෙන් බැඳ තැබීම ආරම්භ කිරීම සඳහා:

“ජනාධිපති මැතිවරණයට මුහුණ දීමට හැකි වන පරිදි රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසි භාවය අත් හරිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අවස්ථාවක ඔහු වගවීමෙන් බැඳ තැබීම ආරම්භ කිරීම සඳහා බොහෝ කලකින් උදාවන අවසාන අවස්ථාව මෙය විය හැකියැ,” යි යැස්මින් සූකා පවසන්නීය.

“වධබන්ධනයෙන් දිවි ගලවාගත් තවත් අය ඒ අනුව යමින් තවත් නඩු දැමීමට මේ හා එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

ඒ සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ සම්බන්ධ වන ලෙස ඇය ඉල්ලා සිටී.

Roy Samathanam

ලංකාවේ උපන් කැනඩා පුරවැසි රෝයි මනොජ්කුමාර් සමාදානම් (Roy Samathanam) 2007 සිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) රඳවා තබාගෙන වධහිංසා පමුණුවා 2010 දී නිදහස් කරන විට බලහත්කාරයෙන් පාපොච්චාරණයක් ලබාගෙන ඇතැ’යි පැමිණිල්ලේ සඳහන් වේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ TID ය පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා යටතේය.

කැලිෆෝනියාවේ නිවාඩුවක් ගත කරමින් සිටි ගෝඨාභය රාජපක්ෂ හඹා යාම සඳහා පුද්ගලික විමර්ශකයන් යොදවා ගත් බව ITJP පවසයි.

අත් අඩංගුවේ දී ඔහුට වධහිංසා පැමිණවීම ඇතුළු නොමනා සැලකීම් කළ බව ජිනීවා හිදී තීරණය කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ප්‍රසිද්ධියට පත් කරන ලෙසද 2016 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට නියම කර තිබුනි.

එක්සත් ජාතීන්ගේ නිර්දේශය පරිදි වගකිවයුත්තන්ට දඬුවම් පමුණුවා, පීඩිතයාට ප්‍රමාණවත් වන්දියක් ගෙවීමට වර්තමාන ශ්‍රී ලංකා රජය මේතාක් කටයුතු කර නැත.

ඩොලර් කෝටි 30 ක වන්දියක්:

ඔහු වෙනුවෙන් නඩුව ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදා වෙඩි පහරින් 2001 දී ඇසක් අහිමිවූ සම්මානලාභී මාධ්‍යවේදිනී මාරි කොල්වින් 2012 දී සිරියාවේදී රොකට් ප්‍රහාරයකින් ඝාතනය කිරීමට එරෙහිව ඇගේ පවුලේ සාමාජිකයන් පැවරූ නඩුවක ප්‍රධාන නීතිඥ ස්කොට් ගිල්මෝර් ය.

මාරි කොල්වින් ඝාතනය සම්බන්ධයෙන් බෂාර් අල් අසාද් පාලනය වගකිව යුතු බවට පසුගිය වසරේ තීරණය කළ එක්සත් ජනපද අධිකරණයක් විසින් ඩොලර් කෝටි 30 ක වන්දියක් ගෙවන ලෙස සිරියාවට නියෝග කරන ලදී.

වික්‍රමතුංග දියණිය විසින් ගොනු කරන ලද නඩුවෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජයට සහ ආරක්ෂක අංශ වලට චෝදනා කෙරේ.

එක්සත් ජනපද පුරවැසියකු වන ගෝඨාභය නන්දසේන රාජපක්ෂ “ලසන්තගේ නඩු නැති ඝාතනයට මුල පුරමින්, එය ක්‍රියාවේ යෙදැවූ” බවට අහිංසා වික්‍රමතුංග නඩු පවරමින් කියා සිටී.

කොළඹ අධි ආරක්ෂිත කලාපයක් සේ නම් කරනු ලැබ ඇති රත්මලාන හමුදා ගුවන් තොටුපල හා ගුවන් හමුදා මූලස්ථානය නුදුරේ කාර්ය බහුල අතුරු මාර්ගයක ‘සන්ඩේ ලීඩර්’ ආරම්භක කතුවරයාගේ ඝාතනය සිදු වුයේ 2009 ජනවාරි 8 දා ය.

එයින් හත් වසරකට පසු ඔහුගේ දේහය ගොඩ ගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව සැකපිට අත් අඩංගුවට ගන්නා ලද යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් මේ වන විට ඇප පිට නිදහස් කර යවා තිබේ.

ජාත්‍යන්තර නඩු පැවරීමේ එජා ඉල්ලීම:

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක නිලධාරීන් චෝදනා ලබන සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ආණ්ඩුව දක්වන දේශපාලන කැපවීම සම්බන්ධයෙන් සැක පහල කර තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය බරපතල මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ චෝදනා ලබන අයට එරෙහිව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබුනි.

“වධහිංසා, බලහත්කාර අතුරුදහන් කිරීම්, යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ වැනි කෙලෙසීම් සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා ලබන පුද්ගලයන් විමර්ශනය කර හැකි සෑම අවස්ථාවකදී ම විශේෂයෙන්ම විශ්ව අධිකරණ මූලධර්මය අනුව නඩු පවරන ලෙසත්, විශ්වසනීය දේශීය ක්‍රියාදාමයක් නැති තැන වගවීම නගා සිටුවීම සඳහා වෙනත් විකල්ප සොයා බලන ලෙසත්,” මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ඉකුත් හතර අවුරුද්දේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ජිනීවා සමුළුව හමුවේ කියා සිටියාය.

තම පියා වෙනුවෙන් කටුගෙයක් තැනීමේදී රුපියල් තිස්තුන් කෝටියකට අධික මුදලක් වංචා කළ බවට නැගී ඇති චෝදනා විභාග කරන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය ගෝඨාභය රාජපක්ෂට විදේශ ගතවීම සඳහා අවසර දී ඇත්තේ අප්‍රේල් 12 දක්වා පමණකි.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා රැගත් නඩු 2017 වසරේ ලතින් ඇමරිකාවේ දී පවරන ලද්දේ ද ITJP සංවිධානය ප්‍රමුඛ ලතින් ඇමරිකානු මානව හිමිකම් කණ්ඩායම් විසිනි.

(gagana.lk)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top