Apr 15, 2019

කාපට් පාරක් යළි කාපට් කරයි : කිලෝමීටරයක වියදම මිලියන 120 යි  Featured

දැනට කාපට් අතුරා ඇති මරදන්කඩවල සිට හබරණ දක්වා කිලෝමීටර් 25ක් වන මාර්ගයේ නැවත කාපට් ඇතිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

 
අදාළ මාර්ගයේ නැවත කාපට් ඇතිරීමට කිලෝමීටරයකට රුපියල් මිලියන 120ක් ඇස්තමේන්තු කර ඇති අතර සමස්ත මාර්ගයේ කාපට් ඇතිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 3,000 ඉක්මවන බව පැවසේ.
 
කාපට් පාරක් ඉදිකිරීමේදී සාමාන්‍ය වියදම වන්නේ කිලෝමීටරයකට මිලියන 65ත් 70ත් අතර මුදලක් බවද මේ අතර වාර්තා වේ.
 
මෙසේ කාපට් කරනු ලබන්නේ තවත් වසර 10ක පමණ කාලයක් කිසිදු අපහසුතාවයකින් තොරව භාවිතා කළ හැකිව තිබියදී බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.
 
අදාළ මාර්ගය මෝටර් රථ භාවිතා කරණ ප්‍රමාණයද අඩු බවද මේ අතර වාර්තා වේ. එසේම එම ප්‍රදේශයේ මීට වඩා අබලන් මාර්ග රාශියක් ඇති බවද මේ අතර වාර්තා වේ. උදාහරණයක් ලෙස ගනේවල්පොළ කැකිරාව මාර්ගය හා ගනේවල්පොළ ගලෙන්බිඳුණු වැව මාර්ගය ඉතා අබලන්ව පවතින බව ප්‍රදේශවාසීහු කියති.
 
කාපට් පාර උඩින් කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ අශෝක රන්දෙනි මහතා සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන ද කන්සල්ටිං ඉංජිනියර්ස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ටර්ස් පුද්ගලික සමාගම (The Consulting Engineers & Contractors (Pvt) Ltd) සඳහාය.
 
අදාළ මාර්ගය අලුත්වැඩියාව සඳහා මේවන විට මැණුම් කටයුතු සිදුකර ඊට අදාළ සලකුණු ද යොදා තිබේ. (පහත ඡායාරූපයෙන් එය දැක්වේ)
road
ටෙන්ඩරෙත් ටිකක් අමුතුයි !
 
අදාළ පාර ඉදිකිරීමේ ටෙන්ඩර් ලබාදීමේදී ද තරඝකාරී ලංසු ක්‍රමයෙන් තොරව ස්විස් චැලෙන්ජ් ක්‍රමය යටතේ කන්සල්ටිං ඉංජිනියර්ස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ටර්ස් පුද්ගලික සමාගම (The Consulting Engineers & Contractors (Pvt) Ltd) සඳහා මේ පාර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇතැයි වාර්තා වේ.
 
ස්විස් චැලෙන්ජ් ක්‍රමයේදී සිදුකරනු ලබන්නේ මර්ග සංවර්ධන අධිකාරිය විසින් තෝරා ගනු ලබන කොන්ත්‍රාත් කරුවන්ගෙන් මිල ගණන් සහිත යෝජනා කැඳවා ඒවා හෙට්ටු කර කොන්ත්‍රාත් කරුවකු තෝරා ගැනීමය.
 
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top