Apr 15, 2019

ජනාධිපතිගේ ධුර කාලය : ශ්‍රීලනිපයේ මත ගැටුමක් ! Featured

සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඇතැම් අයට ජනාධිපතිවරණය කල්දමා මහ ඡන්දයකට යෑමට අවශ්‍ය වීම නිසා යම් යම් උපදේශකයන්ගේ අවශ්‍යතා මත මෙවැනි ප්‍රකාශ සිදුකරන බවද කී මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාගේ ධුර කාලය ජනවාරි 8 දා සහ මැයි 15 වැනිදා ද යන්න ප්‍රකාශ කිරීමට හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මැතිවරණ කොමිසමට බවද වැඩිදුරටත් සඳහන් කළේය.

අභ්‍යන්තර සාකච්ඡාවක් : ශ්‍රීලනිප මහ ලේකම් සහතික කරයි 

මේ අතර පසුගිය 09දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ‍ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරයා 2020 මාර්තු 16 තෙක් ජනාධිපති ධූරය දැරුවහොත් වර්තමාන ආණ්ඩුව විසුරුවාලීමට ජනාධිපතිට බලය තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්විය හැකි බවත් ශ්‍රීලනිප මහලේකම්වරයා එහිදී සදහන් කර සිටියේය.

එසේම, 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1(3) වගන්තිය අනුව ''මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නට වෙන්නේ 2019 නොවැම්බර් වල නොව 2020 අගෝස්තුවේ'' බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් අවධාරණය කර තිබිණ.

කෙසේවුවද ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසන්නේ, කෙසේ හෝ  ඉදිරියේදී පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයක් බවයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

සබැඳි පුවත් :
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top