Apr 16, 2019

රණතුංග TNA එකෙන් ජනපති අපේක්ෂයකු ඉල්ලයි Featured

ඉදිරි ජනපතිවරණයට දෙමළ ජාතික සංධානයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙස පොහොට්ටුව ලකුණෙන් යුත් රාජපක්ෂ වාදී කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටී.

 “අනිවාර්යයෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ සන්ධානය ඉදිරිපත් වෙන්න ඕනේ,” යැයි කියා සිටින ප්‍රසන්න රණතුංග මහතා TNA අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට දෙමළ ඡන්ද වැටීම වලක්වාගත හැකි බවද පෙන්වාදෙයි.

 එසේ නොකිරීම “එක්සත් ජාතික පක්ෂයට පක්ෂය පාවාදුන්නා වගේ වැඩක්” ලෙස ඔහු විසින් හඳුන්වනු ලබයි.

ඔහු මේ ප්‍රකාශය කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට පෙරලා ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටියදී මාධ්‍ය අමතමිණි.

වසර 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සහතික කිරීමේදී තීරණාත්මක සාධකයක් වුයේ දෙමළ හා මුස්ලිම් ඡන්ද බව දේශපාලන විචාරක මතය වේ.

 TNA තීරණය ජනපතිවරණය ප්‍රකාශයෙන් පසුවයි

 කෙසේවුවද, ප්‍රසන්නගේ මෙම ආරාධනය සම්බන්ධයෙන් මාධ්‍ය දෙමළ ජාතික සංධානයෙන් කළ විමසීම්වලදී ඔවුන් ඊට සෘජු ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැලැකී සිටීමට කටයුතු කර තිබේ.

 මේ සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ගගන වෙබ් අඩවියට පවසා ඇත්තේ ජනාධිපතිවරණයට දින නියම වූ පසු TNA රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි. 

 සුළු ජාතික අපේක්ෂකයා විග්නේෂ්වරන්

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී සමස්ත සුළු ජාතීන්ගේ නියෝජිත අපේක්ෂකයා ලෙස  උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කිරීමට දෙමළ ඩයස්පෝරාව සැලසුමක් ඇති බවට ද වාර්තා පලවේ.

එසේ තරග කිරීමෙන් සුළු ජාතික ඡන්ද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි අපේක්ෂකයන්ට ලැබීමට ඇති අවකාශය අහිමි කිරීම එහි ප්‍රධාන අරමුණ බව පැවසේ.

දෙමළ ඩයස්පෝරාව ජනාධිපති ධුර අපේක්ෂක ලෙස විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කිරීම සහ ඔහුට සියලූ දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡ ආරම්භ කර ඇති බවට ද මත පලවේ.

පසුගියදා යාපනයේ පැවැති දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක දී සුළුජන ඡුන්ද දකුණේ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකුට ලැබීමට ඇති ඉඩකඩ අහිමි කළ යුතු බවට උතුරේ ඊළාම් මක්කල් සුයාට්චි කලගම් (ඊළාම් ජනතා ස්වයං පාලන පක්ෂය), ඊපීආර්එල්එෆ්, දෙමළ ජාතික ජනතා පෙරමුණ හා විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් කූට්ටනි යන පක්ෂ එකඟතාවයකට පැමිණ ඇති බවද පැවසේ.

2015 ජනාධිපතිවරණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදී ඇති පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා පොදු අපේක්ෂකයාට සහාය ලබාදුන්නද එකී කිසිදු පොරොන්දු ඉටු කිරීමට යහපාලන රජය කරහැරීමත් එම පොරොන්දු පදනම් කරගෙන දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වීමෙන් ඇති වී තිබෙන ජනතා විරෝධයට විසඳුමක් ලෙස මෙවන් තීරණයක් කරා යෑමට සූදානමින් සිටින බව ද එම ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

සුළු ජාතීන්ගේ පොදු අපේක්ෂකයකු ලෙස විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කිරීමත් ඔහුට සමස්ත සුළු ජාතික ඡන්ද ලබා ගැනීම උදෙසා සියලූ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලන කණ්ඩායමක් මේ දිනවල සූදානම් කරමින් සිටින බවද පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top