Apr 19, 2019

'එජාපයෙන් ජනාධිපතිවරණයට එන්නේ රටේම ආදරයට පාත්‍ර වූ අයෙක්' - අජිත් කියයි

මුළු රටේම ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍රව සිටින, ඒ වගේම මේ රටේ ඉහළම, මධ්‍යම සහ දුප්පත්ම ජනතාව නියෝජනය කරන අපේක්‍ෂකයා ඊළඟ ජනාධිපතිවරණයට එ.ජා.ප.ය ප්‍රමුඛ නව සන්ධානය ඉදිරිපත් කරන බව විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොල්ලුපිටිය, එම අමාත්‍යාංශයේ ඊයේ (18දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

ඇමැතිවරයා එහිදී මෙසේද කීය.

‘ජනාධිපතිවරණය ගැන රටේ කොයි කාගෙත් අවධානය යොමු වෙලා. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කවද්ද කියලා ජනතාව විමසිල්ලෙන් ඉන්නේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඊළඟ ජනාධිපතිවරයාටත් විධායක බලතල තියෙනවා.

ඒ විධායක බලතල අහෝසි කිරීමට නම් ජනමත විචාරණයකට ගොස් එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු වෙනවා. ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ සෑම දේශපාලන පක්‍ෂයක්ම සාකච්ඡා කරනවා. මුළු රටේම ආදරය, ගෞරවය, දිනාගත හැකි ඒ වගේම ඉහළ, මධ්‍යම හා දුප්පත්ම ජනතාව නියෝජනය කරන අපේක්‍ෂකයකුට තමයි ඊළඟ ජනාධිපතිවරණය ජයගත හැක්කේ.

පොදුජන පෙරමුණ ජනපති අපේක්‍ෂකයා කවුද කියලා තීරණය කරන්නේ රාජපක්‍ෂ පවුලයි. සෞදිය, කුවේට්, බෘෘනායි වැනි රටවල වගේ පවුලක් තමයි පක්‍ෂය ගැන රට ගැන තීරණය කරන්නේ.

සර්වජන ඡන්ද බලය ලබාගත් ආසියාවේ පළමු රටවල් අතරේ තමයි ශ්‍රී ලංකාව ඉන්නේ. රාජපක්‍ෂ පාලන කාලයේ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. මාධ්‍ය ආයතන ගිනිබත් කළා. තර්ජන, ගර්ජන එල්ල වුණා. ජාතිවාදී මොඩලය තමයි ඒ අයගේ මොඩලය වුණේ. ජනතා නිදහස සීමා වුණා. නමුත් මුළු රටම දිනාගත යුතු ජනාධිපතිවරණය ඒ අයට ජයගන්න බෑ. ඒක තමයි ඇත්ත.

අපි අපේ ජනාධිපති අපේක්‍ෂකයා නියම වෙලාවට ඉදිරිපත් කරනවා. ඒ ජනාධිපති අපේක්‍ෂකයා නියත වශයෙන්ම ජයගන්නවා.

රවි කරුණානායක හා සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති වී තිබෙන මතවාදී ගැටුම පෞද්ගලික එකක් කියා විශ්වාස කරනවා. හෙට අනිද්දා එය අවසන් වෙයි.’

(මව්බිම)

සබැඳි පුවත් :

එජාප අපේක්ෂකයා කව්ද? - ඇමති අජිත් පෙරේරාගේ FB සටහනින් දේශපාලනය කැළඹේ !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top