Apr 21, 2019

හමුදාව සීරුවෙන් තබයි : ආරක්ෂාව තර කිරීමට පියවර රැසක්  Featured

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබදව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රීවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.


එමෙන්ම දිවයින පුරා වහාම පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා  විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.  

තවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කිරීම සදහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර සිදුවු පිපිරීම් වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සදහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්ය කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇත. 

එමෙන්ම මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී. එසේම මිය ගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබේ.

සමාජ මාධ්‍ය අවහිර කරයි :

මෙම සිදුවීම් වලට අදාල පරීක්ෂණ ආරක්ෂක අංශ විසින් ඉතා පුළුල් ලෙස මේ වන විට සිදු කරන අතර සමාජ මාධ්‍ය  හරහා සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරුවන බැවින් එම පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම අප්‍රේල් 22, 23 යන දෙදින පෞද්ගලික සහ රජයේ සියලු පාසල් නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කිරීමට ද රජය පියවර ගෙන ඇත.

මේ වන විට සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු තර කර ඇති බැවින් රටේ සියලු ජනතාවට තම නිවෙස් වල සන්සුන්ව සාමය ආරක්ෂා කරමින් රැඳි සිටින ලෙස සහ ආරක්ෂක අංශ වලට අවශ්ය සහයෝගය ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටී.

ජනතාවගේ ආරක්ෂාව සඳහා ත්‍රීවිධ හමුදාව කැදවා ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ත්‍රීවිධ හමුදාව මහජන ආරක්ෂාව තහවුරු කරනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top