රටේ ආර්ථිකය බිඳ දැමීමේ බරපතල කුමන්ත්‍රනයක් - අගමැති අනතුරු හඟවයි  රටේ ආර්ථිකය බිඳ දැමීමේ බරපතල කුමන්ත්‍රනයක් - අගමැති අනතුරු හඟවයි 
Apr 21, 2019

පිපිරවීම්වලට සම්බන්ධ කව්ද ? - පසුව කියන බව අගමැති කියයි 

අද දින ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් එක්තරා සංවිධානයක් වගකිව යුතු යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇතත් ඒ පිළිබඳව සියලූ තොරතුරු පොලිසියෙන් විභාග කොට, අනතුරුව දැනුම් දෙන බව අගමැතිවරයා පැවසිය.


එම බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා අද (21) දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එබව සඳහන් කළේය.

ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල කුමන්ත්‍රණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

''ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි. 

එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.

විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාර මා තරයේ හෙලා දකිනවා. 

නීතිය ආරක්ෂා කිරීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පියවර ගන්නා ලෙස මා ආරක්ෂක ලේකම් වෙතත්, ත්‍රීවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා ලබා දුන්නා.

 මමත්, ඒ වගේම අනෙක් ඇමතිවරුනුත්, ජනාධිපතිතුමා සමග ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ලේකම් ඇතුලූ නිලධාරීන් සහභාගී වුණා.

දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමතියි. 

ඒ සඳහා අවශ්‍ය බලතල අප ආරක්ෂක අංශවලට ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අප සැවොම මේ ජාතික  අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්ෂා කරමු.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top