Apr 21, 2019

"අපරාධකරුවන් හඳුනගෙන තිබෙන්නේ" - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

"අපේ රටේ ක්‍රියාත්මක ඕනෑම අන්තවාදී කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව" ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.


"මේ අන්තවාදී කණ්ඩායම්වලට ක්‍රියාත්මක වීම සඳහා හෝ පසුගිය දින කිහිපය තුළ ඔවුන් කළ දෑ කිරීමට අප කිසිඳු ලෙසකින් හෝ ඉඩ තබන්නේ නැහැ."

"අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් කුමන ආගමික අන්තවාදයක් අනුගමනය කළත් අප ඔවුන් ලුහුබඳිනවා"

"අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වගේම මේ රටේ ඔවුන් ක්‍රියාත්මක වීම නවතා දමනවා"

"මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ ආරක්ෂක හමුදා විමර්ශන සිදු කරමින් සිටිනවා"

"මේ අවාසනාවන්ත ත්‍රස්තවාදී සිදුවීමට සම්බන්ධ සියලුම අපරාධකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් කවුරුන්දැයි හඳුනා ගෙන තිබෙනවා" යනුවෙන් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. 

අද දිනයේ පිපිරීම් පිළිබඳ සංෂිප්තය:

* දෙමටගොඩ ප්‍රදේශයේ ද පිපිරීමක් සිදු වූ බව පොලිසිය පවසයි. එය ඉරිදා සිදුවූ අටවැනි පිපිරීමයි.

* දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි ලැගුම්හලක තවත් පිපිරීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

* ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක දේවස්ථාන සහ සංචාරක හෝටල් අටකටවත් ප්‍රහාර එල්ල වී ඇති අතර අවම වශයෙන් 194 දෙනෙකුවත් මරණයට පත්ව ඇත.

* කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි තරු පහේ හෝටල් ඒ අතර වේ.

* සිදු වී ඇත්තේ දේවස්ථාන තුළ පාස්කු දේව මෙහෙයන් සිදු වෙමින් පවතින අවස්ථාවේදීය.

* මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

(උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top