Apr 22, 2019

ශ්‍රී ලංකාවේ පුපුරුවා හැරීම වලට විදෙස් සහය ලැබිලා ! Featured

ශ්‍රී ලංකාව තුළ ඊයේ (21) දිනයේ සිදුවූ ප්‍රහාර සඳහා ජාත්‍යන්තර ජාලයක සහාය ලැබී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසු බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

"මේ ප්‍රහාර රට තුළ සිටින කණ්ඩායමක් කළා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ප්‍රහාර පිටුපස ජාත්‍යන්තර ජාලයක් තිබෙනවා. එසේ නොවී මෙවැනි දෙයක් කරන්න බැහැ" යයි අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

මේ අතර අද (අප්‍රේල් 22) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතා අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරවීම් පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවා දින 17 කට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබූ බවයි.

ඔහු කියා සිටියේ, මෙම ප්‍රහාර පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින ආරක්ෂක අමාත්‍යංශයට දන්වා ඇති බවය.

"වගකීම් පැහැරහැරීම පිළිබද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි," යනුවෙන් ද ඇමතිවරයා කියා සිටියේය.

 පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි :

පොලිස්පතිවරයා පදවියෙන් ඉල්ලා අස්විය යුතුය යන්න ආණ්ඩුවේ ස්ථාවරය බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී කීය.

"මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. ඒ ප්‍රහාරය එල්ලවීමට දින 17 කට පෙරයි. ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් මස 09 දින පොලිස්පතිවරයාට මේ පිළිබදව දැනුම් දී තිබෙනවා.

ඒ එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් අංක ද සදහන් කරමින්.

අප්‍රේල් මස 11 දින නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ටත් මේ පිළිබදව දැනුවත් කර තිබෙනවා. නමුත් එම දැනුවත් කිරිම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබාදී නැහැ.

ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති. මෙම ලිපියෙන් ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව දැඩි කරන ලෙස තහවුරු කර තිබෙනවා. නමුත් මෙය අනුශාංගික වැඩක්. රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග තමයි මෙහිදී වැදගත් වන්නේ.

 අගමැති ආරක්ෂක මණ්ඩලයට නොගැනීම :

 

Ranil mahinda 670px 18 12 28''ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාත් ආරක්ෂක මණ්ඩලයේ වාඩි වුනා''

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට කැඳවීමක් ලැබෙන්නේ නැහැ. මීට පෙර සිටි සෑම ජනාධිපතිවරයෙක් යටතේම ආරක්ෂක මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍යවරයා සහභාගි වුනා.

2018 වසරේ ඔක්තෝබර් 26 දින පත් කළ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාත් ආරක්ෂක මණ්ඩලයේ වාඩි වුනා. නමුත් ඉන් පසු බලයට පත් වූ අපේ රජයේ අග්‍රාමාත්‍යවරයාට ඊට කැඳවීමක් ලැබුනේ නැහැ.

ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍යධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ.

මෙවැනි ත්‍රස්ත කල්ලියක ප්‍රහාරයක් එල්ලවන බවට ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයා දැනුවත් කළ ලිපිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරුන් දැනුවත් ව සිටියේ නැහැ.

මෙම සිද්ධිය සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා නොසිටි නිසා අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවූවත් ඔවුන් ආවේ නැහැ.

 ''හමුදා ප්‍රධානින් අගමැතිගේ ඉල්ලීමට පිටුපෑ එකම රට''

 නමුත් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ට කථා කළත් ඔවුන් ආවේ නැහැ. එම නිසා අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාමරයට වී විනාඩි 20 ක කාලයක් ඉන්න වුනා.

මේ රටේ සිටි අග්‍රාමාත්‍යවරු 1988 වසරේ සිට ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් ඉතා දීර්ඝ කාලයක් ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට සහභාගි වුනා.

ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වූවා. නමුත් අමාත්‍යවරුන් යෝජනා කළා ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් හමු වී වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ යුතු බව. නමුත් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් ඊට ද එක් වුයේ නැහැ.

ආරක්ෂක මණ්ඩල රැස්වීමකට අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවූ පළමු රට ශ්‍රී ලංකාවයි. අග්‍රාමාත්‍යවරයාගේ කැදවීමකට ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් නොපැමිණි පළමු රට ද ශ්‍රී ලංකාවයි.

නමුත් අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස් වූ අතර, ඊට අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටියා.

සියලු තොරතුරු ලැබී තිබිය දී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව සොයා බැලිය යුතුයි. වගකීම් පැහැර හැර ඇති සියලු දෙනා පිළිබඳව සොයා බැලිය යුතුයි. අනතුරු ඇඟවීම් සිදු කර තිබිය දී ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ද සොයා බැලිය යුතුයි."

(උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top