Apr 24, 2019

NTJ නායකයා නොමළ බවට පුවතක් ! Featured

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමාඅත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් එම මරාගෙන මැරෙන ප්‍රහාර වලින් මියගොස් නැති බවට සැකයක් මතුව තිබේ.

පරීක්ෂණවලටට සම්බන්ධ ආරක්ෂක ප්‍රධානියෙක් මෙම බෝම්බකරුවන් අතර NTJ නායකයා සිටි බවට තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව බීබීසී සිංහල සේවයට පැවසීයැයි වාර්තා කර තිබේ.

පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර මේ ප්‍රහාරය එල්ල කළ අතර ඉන් පුද්ගලයින් 359ක් ජීවිතක්ෂයට පත්ව 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

අද (24දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඔහු "මෙම කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයා මිය ගිය බව පමණක් මට තහවුරු කළ හැකියි,” පවසා තිබේ.

එම පුද්ගලයා ජාතික තව්හිත් ජමාඅත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ද යන්න විමසූ විට ඔහු ඒ ගැන තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි බව පවසා ඇත.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ මෙම මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් නැමැත්තා බවට මාධ්‍ය වාර්තා කරන නමුත් පොලිසිය පවසන්නේ එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇත්තේ වෙනත් පුද්ගලයෙක් බවය.

CCTV දර්ශන අනුව ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් වීඩියෝවක් මුදා හැර තිබිණි. එය පහත දැක්වේ.


මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු මෙම ප්‍රහාර වලට සම්බන්ධ වී තිබෙන අතර, එයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද බලධාරීහු පවසති.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටින්නේ එම 9 දෙනා අතර කාන්තාවක් ද සිටින අතර ඇය දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමට යාමේදී බෝම්බය පුපුරුවාගත් බවය. ඇය කුළු බඩු ව්‍යාපාරික ඊබ්‍රාහිම්ගේ ලේලිය බව අද (24) විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top