Apr 26, 2019

"NTJ තහනම් කරන්න අලුත් නීති : IS ප්‍රහාරය ඉක්මන් වුණේ ඇයි ?" Featured

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා හෝටල්වලට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද ජාතික තවුහිත් ජමාත් සංවිධානය (NTJ) තහනම් කිරීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොමැති බැවින් නව පනතක් ගෙනඒමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

මේවන විට රටේ සිටින දක්ෂ නීතීඥයින්ට මේ සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස් කිරීමට බාරදුන් බවත්, එසේ සකසන දළ කෙටුම්පතට යම් වෙනස්කම් සිදු කළ යුතු නම් අදාළ වෙනස්කම් සිදුකර අවසන් කෙටුම්පත සැකසීම නීතිපති දෙපාර්තමෙන්තුවට දෙන බවත්, පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව, ISIS සංවිධානය හා ඊට අනුබද්ධිත සංවිධාන තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව හා සිංගප්පූරුව වැනි රටවල් රැගෙනවිත් ඇති පනත් සම්බන්ධයෙන් තමා අධ්‍යනයක නිරත වූ බවත් සිරිසේන මහතා කියා සිටියේය.

කෙසේවුවද, මේවන විට හදිස්සි නීතිය සම්මතව ඇති බැවින් ඒ අනුව ජාතික තවුහිත් ජමාත් සංවිධානය (NTJ) තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට හැකියාව පවතින බවත්, එසේ එම සංවිධානය තහනම් කළ ද එය පවතින්නේ හදිස්සි නීතිය පවතින තෙක් තානකාලිකව බවද ජනපතිවරයා අවධාරණය කළේය.

IS ප්‍රහාරය ඉක්මන් වුණේ

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් අයි.එස්. සංවිධානය ලංකාව තුළ සිදුකළ ප්‍රහාරය ඉක්මන් වෙන්න හේතුවක් විය හැකි බවද සිරිසේන මහතා කීය.

"ලෝකයේ ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය වෙළඳාම අතර දැඩි සම්බන්ධතාවක් තිබෙනවා. ආගමික අන්තවාදයත් ජාත්‍යන්තර නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමත්, ජාත්‍යන්තර යුද අවි ජාවාරමත් එකට යන ජාවාරම්.

මත්ද්‍රව්‍ය හා ත්‍රස්තවාදය අතර තිබෙන්නේ දැඩි බැඳීමක්. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රභල ආදායමක් වුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම.

ඇතැම්විට අයිසීස් සංවිධානය මේ ප්‍රහාරය ඔවුන්ගේ අරමුණු අනුව අනිත් රටවලට පහර දීම ගැන හිතලා ලංකාවටත් පහර දෙන්න ඇති. නමුත් ඒ පහරදීම මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්”

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතවරයා මේ බව සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top