Apr 27, 2019

හමුදාවේ 11ක් මියගිය බවට 'පොහොට්ටු' මන්ත්‍රී කියන කතාව බොරු (වීඩියෝ)

කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රී සිදුවූ ගැටුම් වලදී ආරක්ෂා හමුදා සාමාජිකයින් 11 දෙනෙකු මරණයට පත්ව ඇතැයි 'පොහොට්ටු' පක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා, ජාතික නාලිකාවක් සමග සජීවී වැඩසටහනට එක්වෙමින් කල ප්‍රකාශය ජනතාව නොමග යැවීමට හා කුපිත කිරීමට කරන ලද සැලසුම් සහගත ක්‍රියාවක් විය හැකි බව ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමක දී පැවසිය.

පියල් නිශාන්ත ද සිල්වා මහතා 'ස්වර්ණවාහිනි' නාලිකාවේ ඊයේ (26) රාත්‍රී සජීවී වැඩසටහනකට එක්වෙමින්, සයින්දමරුදු ගැටුමේදී යුධ හමුදාවේ 11ක් මියගොස් ඇති බවට අවධාරණ කරමින්, එම ප්‍රකාශයේ වගකීම බාරගනිමින් හැඟීම්බරව කල ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය විමසීමේදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

මෙම ගැටුමේදී කිසිඳු ආරක්ෂක හමුදා සාමාජිකයකු මියගොස් නැති බවත්, කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ ස්ථානයේ තිබී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු 4ක් සොයාගෙන තිබෙන බවත් එම ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ 4 කගේ සිරුරු හමුවෙයි

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ, එම ප්‍රදේශයේ තවදුරටත් යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

වෙඩි හුවමාරුවට මැදි වූ කාන්තාවක් ද එලෙස මිය ගොස් ඇති අතර තවත් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

මෙහෙයුමේදී වෑන් රථ දෙකක් ද හමුදා භාරයට ගෙන ඇති අතර, මළ සිරුරු දෙකක් හමුවී ඇත්තේ ඉන් එක් වෑන් රථයකිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top