Apr 27, 2019

'කල්මුනේ සැකකරුවන් ගැන ඔත්තුව මුස්ලිම් පල්ලියෙන්'

කල්මුනේ, සයින්දමරදු ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයින් හා ඔවුන් පදිංචිව සිටින ස්ථාන ගැන ආරක්ෂක අංශවලට තොරතුරු ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් හා ඒ අවට සිටින මුස්ලිම් ජාතික පිරිස් විසින් බව ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

මෑතකදී එම ප්‍රදේශයේ නිවෙස් කුලීයට ගෙන පදිංචිව සිටින පුද්ගලයින්ගේ නිවෙස් වෙත යමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු පොලිසිය හා දිස්ත්‍රීක් ලේකම් වෙත ලබාදී ලබාදී ඇති එම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ පිරිස්, එම ප්‍රදේශයේ සාමය ආරක්ෂාකර ගැනීමේ මෙහෙයුමට ආරක්ෂක අංශවලට පුර්ණ සහය පළකරමින් සිටින බවද එම නිලධාරියා කියා සිටියේය.

මෙසේ නැගෙනහිර මුස්ලිම් තරුණ පිරිස්වලින් හා මුස්ලිම් පල්ලි වලින් ආරක්ෂක අංශ වලට ලැබී ඇති සහය ඉහලින්ම අගය කළ යුතු බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

සමන්තුරේ ඔත්තුව !

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාකරකයන් ගේ බවට සැක කෙරෙන සැක කටයුතු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

ඒ සඳහා ද පොලිසියට ඔත්තුව ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයින් පිරිසකි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එම ස්ථානයේ තිබුණු බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඉහත කී ද්‍රව්‍ය හමු වී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top