Apr 30, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය : 'දේශපාලන පෙරළියක්' ගැන ලියු අය ගැනත් සොයයි

අලුත් අවුරුද්ද නිමවූ වහාම දේශපාලන පෙරලියක් සිදුවන බවට අනාවරණය කල මාධ්‍යවේදියකු පිළිබඳව ද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විමර්ශකයින්ගේ හා මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රි පුද්ගල කමිටුවේ අවධානය යොමුව ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

එම පුවත් වාර්තාවට අනුව, ''අප්‍රේල් 14 වන දා එනම් අලුත් අවුරුදු දිනයේ පළවූ ඉරිදා ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන පුවත ලියූ ලංකාදීප කර්තෘ මණ්ඩල සාමාජිකයා 'අලුත් අවුරුද්දෙන් පසු දේශපාලන පෙරළියක්' යන හෙඩ් ලයිනය සමග වාර්තාවක් පළ කිරීම ගැන මේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන්නන්ගේ විමසුම් ඇස යොමුවී ඇතැයි කියනු ලැබේ.

එමෙන්ම අප්‍රේල් 14 වනදා, එනම් අලුත් අවුරුදු දිනය සාමාන්‍යයෙන් පත්තර කන්තෝරුවල නිවාඩු දවසක් හෙයින් අප්‍රේල් 15 දින පත්තරය පළ නොවන නමුත්, විශේෂ ප්‍රවෘත්තියක් ලැබීමට තිබෙන බව කියා අප්‍රේල් 15 දින ලංකාදීප පත්‍රය පළ කිරීම පිණිස අප්‍රේල් 14 දින ස්ටෑන්ඩ් බයි හෙවත් සූදානමින් සිටින ලෙස 'ලංකාදීප' පත්තරයේ කාර්ය මණ්ඩලයට දැනුම්දීමක් සිදු කොට තිබිණි.

මෙයට පෙර අප්‍රේල් 15 වන දින පත්තරයක් මුද්‍රණය කර ඇත්තේ එකම එක අවස්ථාවකදීය. එනම්, 1973 දී මුළු ලංකාවම කම්පාවට පත් කළ ඩඩ්ලි සේනානායක හිටපු අගමැතිතුමාගේ අභාවය සිදුවූ අවස්ථාවේය.

පසුගිය අප්‍රේල් 21 වන ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තිය අප්‍රේල් 22 සඳුදා පත්තරවල පළ විය.

ආරක්ෂක අමාත්‍යංශය වෙත ලැබී තිබුණු නමුත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපතිවරයාට හෝ දැනුවත් නොවූ බුද්ධි තොරතුරක් ලංකාදීප පුවත්පතට කිසියම් මාර්ගයකින් ලැබුණේද යන්න ගැන විමර්ශකයන් විසින් අදාල මාධ්‍යවේදියා ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top