May 02, 2019

මඩකලපුවේ පොලිස් භටයන් ඝාතනයට බුද්ධි නිලධාරීන් හවුල් ! (VIDEO) Featured

මඩකලපු දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවට හෙළිවී ඇතැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

පසුගිය නොවැම්බර් අග වවුනතීව් පොලිස් මුරපොලකදී නිරෝෂන් ඉන්දික ප්‍රසන්න සහ ගනේෂ් දිනේෂ් යන කොස්තාපල්වරුන් දෙදෙනා කපා කොටා වෙඩිතබා මරා දමා තිබුනි.

ඒ දෙදෙනාගේ රාජකාරි ගිනි අවි තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වවුනතීව් සහ වනාතවිල්ලුව නිවාස දෙකක් වැටලීමේදී සොයාගන්නා ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.

එම සංවිධානය පාස්කු ඉරිදා සමූලඝාතන වලට වගකිව යුතු බවට චෝදනා ලබයි.

බුද්ධි සේවා වාර්තා උපුටා දක්වමින් දොස්තර රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ට කියා සිටියේ පොලිස් භටයන් ඝාතනය සම්බන්ධීකරණය කරන ලද්දේ බුද්ධි නිලධාරීන් හතර දෙනකු විසින් බවයි.

තව්හිද් ජමාද් නායක අබ්දුල් රසික් රෆික්ඩීන් බුද්ධි අංශ සාමාජිකයකු බවට හෙළිවී ඇතැයිද කී ඔහු පවසන පරිදි එම සංවිධානය මෙන්ම බොදු බල සේනා ඇතුළු දැඩි මතධාරී බෞද්ධ සංවිධානත් පවත්වාගෙන යාම සඳහා මුදල් යොදවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති යුද හමුදා බුද්ධි අංශයේ විශේෂ ඒකකයකි.



එසේ වෙතත්, නිරෝෂන් ඉන්දික ප්‍රසන්න සහ ගනේෂ් දිනේෂ් පොලිස් කොස්තාපල්වරුන් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා නගා රහස් පොලිසිය විසින් මුලින් අත් අඩංගුවට ගනු ලැබුවේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසකි.

ඒ අතරින් මඩකලපුවේ පදිංචි අජන්තන් නමින් හඳුන්වන කදිරගාමර්තම්බි රාජකුමාරන් තවමත් පසුවන්නේ අත් අඩංගුවේය.

ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය අලුත් සැකකරුවන් පිරිසක් නම් කිරීමෙන් අනතුරුව ඔහුගේ බිරිය සෙල්වරානි රාජකුමාරන් රජයෙන් ඉල්ලා සිටියේ සිය නිර්දෝෂී සැමියා වහාම නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් ගගන කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ කදිරගාමර්තම්බි රාජකුමාරන් නිර්දෝෂී බව පරීක්ෂණ වලින් තහවුරු වුනොත් ඔහු නිදහස් කර යවන බවයි.

(gagana.lk)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top